ඔහු එම නිවෙස අසලට යනවාත් සමඟම නිවෙසේ ඉදිරිපස දොර විවර කරගෙන තරුණයකු දිව ගියේය.
අසල්වැසියා නිවෙස තුළට ගොස් බලන විට බට්ටි බිම වැටී සිටියාය. ගෙල ප්‍රදේශයෙන් ලේ ගලා යයි.
වහාම නිවෙසින් එළියට පිවිසි අසල්වැසියා ඔන්න අල්ලපියෝ අල්ලපියෝ ලෙසින් කෑමොර දෙමින් පැන යන තරුණයා පසුපස හඹා යන්නට විය.
ඔහුගේ මේ හඬින් නිවෙස්වලින් එළියට ආ පිරිස් පැන දිව යන පුද්ගලයා පසුපස පන්නන්නට වූහ. බට්ටිගේ අසල්වැසියන්ගේ ප්රයත්නය සාර්ථක විය. ගමේ තරුණයන් එක්ව පැන යන තරුණයා අල්ලා ගත්තේය.
මේ වන විට අසල්වැසි කාන්තාවන් එක්ව තුවාල ලබා සිටිනා බට්ටි රෝහලවෙත රැගෙන ගියද ඒ වන විටත් ඇය මිය ගොස් සිටියාය. මීගමුව පොලිසියේ අපරාධ අංශයේ නිලධාරියකුට දුරකථන ඇමතුමක් ලැබුණේ මේ අතරය.
කිඹුලාපිටියේ අස්වැද්දුම ළිඳ පාරේ ගෙදරක කෙල්ලෙක්ට පිහියෙන් ඇනලා ඒ මොහොතේම ක්‍රියාත්මක වූ මීගමුව මූලස්ථාන පොලිසියේ අපරාධ අංශ කණ්ඩායමක් කිඹුලාපිටිය බලා පිටත්වන්නට සූදානම් විය. ඒ අතරතුර මීගමුව රෝහල් පොලිසියෙන් ද මීගමුව පොලිසියට ඇමතුමක් ලැබිණි. ඒ...ඝාතනය කළ තරුණියකගේ මළ සිරුරක් රෝහලට රැගෙනවිත් තිඛෙන බව කියමින්ය.
කිඹුලාපිටිය අස්වැද්දුම ප්‍රදේශයට පොලිස් කණ්ඩායම එන විට සැකකාර පුද්ගලයා ගම්වාසීන් බාරයේ සිටියේය. පසුව ඔවුන් සැකකරු පොලිසියට බාරදුන් අතර බට්ටිගේ නිවෙසට ගිය පොලිසිය සොකෝ කණ්ඩායම ද ගෙන්වා පරීක්ෂණ ආරම්භ කළේය.
කුඩා නිවෙසේ සාලයේ ගලා ගිය රුධිරය දක්නට ඇත. ඒ අසල මිට කැඩී තලය දෙකට කැඩුණු පිහියකි. ඊට නුදුරින් විශාල කොන්ක්‍රීට් ගලකි. එහිද රුධිරය තැවරී ඇත. එනම් පිහියෙන් ඇන එය කැඩුණු පසු කොන්ක්‍රීට් ගලෙන් ද පහර දී ඇත. අත්අඩංගුවට පත් සැකකරුගෙන් ප්‍රශ්න කිරීම ඇරඹුණේ ඉන් අනතුරුවය.
කිඹුලාපිටිය කම්හලක වැඩ කරන ඔහු දහනව හැවිරිදි තරුණයෙකි. බලංගොඩ, මැද බැද්ද, හල්තොට ප්‍රදේශයේ පදිංචිකරුවකු වූ මොහු රැකියාවක් සොයාගෙන දාගොන්නට ගියේ දෙදහස් දහය වසරේදීය. දාගොන්න, කිඹුලාපිටිය අසල පිහිටි ගම්මානයක් වන අතර එම ගම් ප්‍රදේශයේ ද එම කර්මාන්තය සාර්ථකව සිදු කෙරේ. දෙදහස් දහය වසරේ සිට වසර දෙකහමාරක පමණ කාලයක් දාගොන්න කම්හලක සේවය කළ ඔහු කිඹුලාපිටියට ගියේ මීට මාස හතකට පමණ ඉහතදීය. ඔහු කිඹුලාපිටිය අස්වැද්දුම ප්‍රදේශයේ පිහිටි කර්මාන්ත ශාලාවක සේවය කළ අතර ( කර්මාන්ත ශාලා කීවාට මේ නිශ්පාදන සිදු කරන්නේ නිවෙස්වලයි) දිනේෂිකා මධුරංගි ඔහුගේ නෙත ගැටෙන්නේ ඔය අතරතුරේදීය.
දුටු මුල් දිනයේම ඔහුගේ සිත ඇය කෙරෙහි ඇදී බැඳී ගියද තවමත් පාසල් යන, සාමාන්‍ය පෙළ විභාගයට සූදානම් වෙමින් සිටිනා ඇයට මෙම තරුණයා පිළිබඳ කිසිම විශේෂයක් දැනුණේ නැත. ඇයට ඔහු සේවය කරන ගෙදරක වැඩට ආපු තවත් එක් තරුණයෙක් විය.
කාලය ගෙවී යයි. ඔහු ඇය පසුපස ලුුහුබඳිමින් ඇය හා හිතවත් වීමට උත්සාහ කළේය. ඇය ඔහු හා සිනාසී කතා බහ කළ ද ඇයගේ සිතේ ඔහු පිළිබඳ කිසිම විශේෂත්වයක් තිබුණේ නැත.
කල් යත්ම ඔහු ඇයගෙන් ආදරය අයැදින්නට විය. නොසිතූ අයුරින් ඔහු කළ මේ යෝජනාවට කලබල වූ මධුරංගී එම යෝජනාව ප්‍රතික්ෂේප කළාය.
මම එයාගෙන් ආදර සම්බන්ධයක් ගොඩනගාගන්න කීප වතාවක්ම ඇහුවා. ඒත්...එයා මට කෙළින් පිළිතුරක් දුන්නේම නෑ.
දවසක් එයාගේ අයියගේ යාළුවෝ කට්ටියක් ඇවිත් මට ගහන්න ගියා. නංගිගේ පිටිපස්සෙන් යන එක නවත්තන්න කියලා මට තර්ජනය කළා. එදා මට හොඳටම තරහ ගියා...
මේ ප්රශ්නය උඩ එදා මම මීගමුවට ගිහින් ලෙල්ලම ළගින් සල්ලි දීලා පිහියක් ගත්තා. සිකුරාදාට වැඩ ඉවරවෙලා පල්ලිය පැත්තට ගියා. ඒ යද්දි පිහිය අරගෙනයි ගියේ. පල්ලියට යන්න තියෙන්නේ මධුරංගිලාගේ ගේ ළගින්... මම පල්ලිය පැත්තෙන් ඇවිදලා ටික වේලාවක් ඉඳලා ආපහු ආවා. ආපහු එන ගමන් මධුරංගිලාගේ ගේ කිට්ටුව තියෙන වෙඩි ඛෙහෙත් මඩුව ළග නැවතුණා. මම එතැනට වෙලා කල්පනා කර කර හිටියා. මධුරංගි ගෙයින් එළියට එයිද කියලා මං මඩුවට වෙලා හැංගිලා බලාගෙන හිටියා.
මධුරංගි එළියට එනවා දැක්කේ නෑ. ටික ටික රෑ වුණා. මම මඩුව ළග එළිවෙනකම් හිටියා. මට නින්ද ගියේත් නෑ. උදේ හතහමාරට විතර මම දැක්කා මධුරංගිගේ තාත්තා ගෙදරින් යනවා. එයාගේ අයියත් වැඩට යනවා. අම්මත් වැඩට ගියාම මධුරංගි විතරයි ගෙදර ඉන්නේ... මං මධුරංගිලාගේ ගේ දිහාව හොඳට විපරම් කරලා ගේ ළගට කිට්ටු වුණා. එතකොට වේලාව උදේ අටහමාරට නවයට විතර ඇති. ගෙයි ඉස්සරහා දොර වහලා තිබුණේ. පිටිපස්සේ දොර ඇරලයි තිබුණේ. මම ගේ ඇතුලට යනකොට මධුරංගි සින්දු අහගෙන හිටියා. එයා මාව දැකලා කලබල වුණා. මං කිව්වා ඔයා කලබල වෙන්න එපා දැන්වත් කියන්න මට කැමතිද කියලා. ඔයා මට කැමති වෙන්න කියලා මම කිව්වා.
ඒ වෙලාවේ එයා මට බැනගෙන බැනගෙන ගියා. මම ඉනේ හංගාගෙන හිටපු පිහිය ඇදලා අරගෙන මධුරංගිගේ ඛෙල්ලට පාරක් ඇන්නා. තව පාරක් උරහිස පහළට ඇන්නා. ඒ පාර මධුරංගි බිම වැටුණා. මම පහත්වෙලා තවත් පාරක් ඇන්නා. ඒ පාර වැදුණේ බිමට. පිහි තලේ නැමිලා මිට කැඩුණා. ඊට පස්සේ වටපිට බලද්දී දොරට තියෙන ලොකු කොන්ක්‍රීට් ගල දැක්කා. මම ඒක අරගෙන මධුරංගිගේ මූණට ගැහුවා. මධුරංගි කීප සැරයක් කෑ ගහලා නිහඬ වුණා. මම ඒ වෙද්දිත් මධුරංගිගේ ගේ ඇතුලේ හිටියේ. එයාගේ සද්දෙ ඇහිලා ඉස්සරහ ගෙදර අයියා දුවගෙන එනවා මම ජනේලෙන් දැක්කා. ඒ පාර මම ඉස්සරහ දොර ඇරගෙන එළියට දිව්වා. පස්සේ ගමේ අය මගේ පස්සෙන් පන්නගෙන ඇවිත් මාව අල්ලා ගත්තා. එයා මට ආදරේ කරන්න අකමැති වුණ නිසා ආපු තරහටයි සර් මම එහෙම කළේ... සැකකරු පොලිස් ප්‍රශ්න කිරීම් හමුවේ සිදුවූ සියල්ල එලෙසින් පාපොච්චාරණය කළේය.
ඔහුගේ සිත මේ තරමටම සොරාගත් ඇය කිඹුලාපිටිය, අස්වැද්දුම ළිඳ පාරේ අංක 372/3 නිවෙසේ පදිංචි පලිහවඩනගේ දිනේෂිකා මධුරංගි නම් වූවාය. ගමේ සැවොම ඇයට ආදරයට කීවේ බට්ටි කියාය.
බට්ටිලා මේ නිවෙසේ පදිංචිව සිටින්නේ කුලී පදනම මතයි. පවුලේ බාලයා වූ ඇයට වැඩිමල් සහෝදරයන් දෙදෙනකු සිටී. එක් සහෝදරයකු විදෙස්ගතව රැකියාවක නියුතුව සිටින අතර අනෙක් සහෝදරයා මීගමුව ප්‍රදේශයේ කර්මාන්ත ශාලාවක රැකියාවක් කරයි.
පියා ඇන්ටනී පැට්රික්ට ස්ථිර රැකියාවක් නැත. මේ පවුලේ බර කරටගෙන පවුල නඩත්තු කළේ මව දීප්ති චම්පා විසිනි. ඇය ඇගලුම් කර්මාන්ත ශාලවක සේවයේ නියුතුව සිටී.
කිඹුලාපිටිය මහා විද්‍යාලයේ අධ්‍යාපනය හදාරන බට්ටි අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටියේ පසුගිය දෙසැම්බර් මාසයේදීය. විභාගය අවසානයේ නිවෙසේ නතර වූ ඇය ප්‍රතිඵල එනතුරු නිකම්ම සිටීමට කැමති වූයේ නැත. ඇය ද ඇගලුම් කර්මාන්ත ශාලාවක රැකියාවක් සොයා ගත්තේ වැඩිහියන්ට බරක් නොවී තමන්ගේ වියදම හරි සොයා ගැනීමටයි. වයස අවුරුදු දහසය සම්පූර්ණ කර තිබූ ඇයට රැකියාවක් ලැබුණු අතර ඇය දිනපතාම රැකියාව සඳහා යන්නට වූවාය.
මේ වන විට සැකකාර තරුණයාගෙන් ඇයට ආදර යෝජනාවක් ලැබි තිබුණ ද ඇය එම යෝජනාව පිළිගත්තේ නැත. මේ තරුණයා දෙතුන් වතාවක්ම ඇයට තර්ජනය ද කර පහරදීම් සිදුකර තිබිණි. එහෙත්...ඇය ඒ සියල්ල ඉවසාගෙන සිටියේ අනාගත සුබ සිහින දකිමිණි.
සාමාන්‍ය පෙළ විභාගයට කලා විෂයක් ලෙස ඇය හදාරා තිබුණේ නැටුම් විෂයයි. ප්‍රායෝගික විභාගය ළග එන බැවින් ඇය ඇගලුම් කර්මාන්ත ශාලාවෙන් සතියක නිවාඩුවක් ලබා ගත්තේ විභාගයට සුදානම් වීම සඳහාය.
ඇයගේ මේ ධෛර්යය පිළිබඳ ඇය ඉගෙන ගන්නා පාසලේ ගුරුවරු ගුරුවරියන් ද දැන සිටි අතර ඔවුන්ගේ අවවාදය වුණේ ඇය තවදුරටත් අධ්‍යාපන කටයුතුවල නිරත විය යුතු බවටයි. ඇය ගුරුවරුන් හමුවේ කියා සිටියේ සාමාන්‍ය පෙළ ප්‍රතිඵල ලැඛෙන තුරු රැකියාවේ නිරත වන බවත්, ප්‍රතිඵල ආ පසු උසස් පෙළ හැදෑරීම සඳහා යළි පාසල් එන බවත්ය.
එදා...පසුගිය විසිතුන් වැනිදා මව, පියා හා අයියා නිවෙසින් පිටව ගිය පසු මුහුණ කට සෝදා ලක ලැහැස්ති වූ මධුරංගි අසල්වැසි නිවෙසකට ගොඩවී යම් පණිවුඩයක් කියා යළි සිය නිවෙසට පැමිණියාය. ඒ..නැටුම් ප්‍රායෝගික විභාගයට පෙර සූදානම් වීම සඳහාය.
කවදත් සංගීතයට පි‍්‍රය කළ ඇය නැටුම් පොතද රැගෙන සාලයේ පුටුවක වාඩිවූයේ ගුවන් විදුලි යන්ත්‍රය ද ක්‍රියාත්මක කරමිණි. ගතවූයේ නිමේෂයකි. නිවෙස තුළට කඩා වැදුණ සැකකාර තරුණයා ඇයගෙන් ආදරය ඉල්ලා සිටියේ අවසාන වතාවට බව ඇය දැන සිටියේ නැත. ඔහු...ඇය ඝාතනය කිරීම සඳහා පිහියක් ඉණේ සගවාගෙන පැමිණ සිටින බව ද ඇය දැන සිටියේ නැත. ඔහු දැකීමෙන් බියට පත්වුවද ඇය ඒ බවක් නොපෙන්වා ඔහුට බැන වදිමින් උත්සාහ කළේ ඔහු නිවෙසින් පිට කර ගැනීම සඳහාය. එහෙත්...සිදුවූයේ වෙනකකි. ඔහු ඉනේ සගවාගෙන තිබූ පිහිය රැගෙන ඇයට දිගට හරහට අනින්නට විය.
ප්‍රේමයයි වෛරයි අතරේ වෙනස කෙස් ගසකට සමාන යැයි කියමනක් ඇත. ඔහුගේ සිතේ ඇය කෙරෙහි උපන් ප්‍රේමය, පෙරලා ඇයගෙන් එයට බලාපොරොත්තු වු ප්‍රතිචාර නොලැබුණ කල වෛරයක් බවට පෙරළුණේ එලෙසිණි. ඊළගට ඔහුගේ චේතනාව වූයේ තමාට අකමැති ඇය මෙලොව තවදුරටත් ජීවත් නොවිය යුතුය යන්නයි. පිහියෙන් පහර තුනක් ඇන්න පසු පිහිය බිම වැදී
කැඩී ගියද ඔහුගේ ඉලක්කය අවසන්ව තිබුණේ නැත. දොරට තබන ගල රැගෙන ඇයගේ මුහුණට දැඩි පහරක් එල්ල කළේ එබැවිණි. එම ගලෙහි බර කිලෝ හතහමාරක් පමණ වන බව පොලිසිය පැවසීය.
සුන්දර ආනාගතයක සුබ සිහින දකිමින්, ඉදිරි අනාගතයේදී හොඳට ඉගෙන ගන හොඳ රැකියාවකට ගොස් මවුපියන්ට සැප සම්පත් ලබා දෙන්නට සිහින මැවූ බට්ටි සාහසික පෙම්වතකු අතින් එලෙස අකාලයේ ජීවිතයෙන් සමුගෙන ගියාය.
පවුලේ එකම දියණිය බඩ පිස්සිය අකාලයේ අහිමිවීම පිළිබඳ බට්ටිගේ මව්පියන් පමණක් නොව අසල්වාසීන් ද පාසල් මිතුරු මිතුරියන් මෙන්ම ගුරු මණ්ඩලය ද දැඩි කම්පනයකට පත්ව සිටිති.
ඇයගේ දේහය දැකබලා ගැනීම සඳහා සිය ගණන් ජනතාව එම නිවෙස වෙත පැමිණ සිටියේ ඒ අහිංසකාවට සිදුවූ අසාධාරණය පිළිබඳ සිත්වල ඇති වූ දැඩි කෝපය ද සමගිණි. බට්ටිගේ මළ සිරුර මිහිදන් කරන අවස්ථාවේ මව දීප්ති චම්පා නැගූවිලාපයේ දෝංකාරය තවමත් කාගේත් දෙකන් වල රැව් පිළිරැව් දෙනවාට කිසිදු සැකයක් නැත.
මගේ චූටි පැටියා යනවා. මාව දාලා යනවා...අනේ...මගේ වස්තුවේ...ඔයා නැතිව මං කොහොමද ජීවත් වෙන්නේ...ඇයි මගේ චූටි පැටික්කිට මෙහෙම අපරාධයක් කළේ...අනේ මගේ දුවේ... ඇය මෙලෙසින් ජීවිත කාලය පුරාවටම හඬා වැටෙනු ඇත.බට්ටි ඝාතනය කළ බවට සැකපිට අත්අඩංගුවට ගත් සැකාකාර පෙම්වතා අධිකරණයට ඉදිරිපත්කොට රිමාන්ඩ් බන්ධනාගාර කොට ඇත.
මීගමුව කොට්ඨාස බාර නව පොලිස් අධිකාරී ජයන්ත ලියනගේ මහතාගේ උපදෙස්මත සහකාර පොලිස් අධිකාරී ආනන්ද අල්විස් මහතාගේ අධීක්ෂණයෙන් මීගමුව මූලස්ථාන පොලිස් පරීක්ෂණ ගාමි හල්වල මහතාගේ මෙහෙයවීම යටතේ අපරාධ අංශයේ ස්ථානාධිපති රසිඳු රත්නායක, සැරයන් 27580 බණ්ඩාර, 22181 සේනාරත්න, කොස්තාපල්වරුන් වන 51717 හරිස්චන්ද්‍ර,24992 උක්කුබණ්ඩා යන කණ්ඩායම පරීක්ෂණවල නිරත වූහ.
සටහන - තක්ෂිලා ජයසේකර
ඡායාරූප - ප්‍රභාත් රඹුක්වැල්ල