ඇගේ සැමියා ඇයට වඩා වසර දොළහකින් පමණ වැඩිමහල්. ඔහු ටියුෂන් ගුරුවරයෙක්. මිල මුදල් වගේම මිල වැඩි සැප වාහනයකුත් ඔහු සතු වුණා. මේ කරුණුවලට අමතරව ඔහුට අලුතෙන්ම තැනූ අලංකාර නිවසක් තිබිමත් මේ විවාහය සිදු කිරීම සඳහා විශේෂිත සුදුසුකම් ලෙස තරුණියගේ දෙමාපියන් සැලකුවා.
බාහිර සැප සම්පත් කෙසේ වෙතත් මේ විවාහය තුළින් එම තරුණිය කිසිදු මානසික සතුටක් නම් ලැබුවෙ නෑ. ඒකටත් හේතු තිබුණා.
ඔහු මැදි වයසේ පසුවුණු කෙනෙක්. නමුත් ඇය තරුණ වියේ පසුවීම තුළ ඔවුන් අතර ආකල්පමය වෙනසක් පැවැතියා. තරුණ වයසේදී ඇය අපේක්ෂා කළ සුන්දර සිහින ලෝකය සැමියා වෙතින් ඇයට අත්දකින්නට ලැබුණෙ නෑ.
ඔහු එවැනි හැඟීම්බර ආදරයක් ප්‍රිය කළේත් නෑ. ආදරයට හෝ බිරිඳට නොව ඔහුගේ ජීවිතයේ මූලික තැන ලැබි තිබුණේ තමන්ගේ ටියුෂන් ව්‍යාපාරයටයි. මෙකල ටියුෂන් ගුරුවරුන් අතර තිබෙන්නේ විශාල තරගයක්. ඒ තරගයට ඔහුත් අවතීර්ණ වී සිටියා.
තමන්ගේ ටියුෂන් පන්තියේ ශිෂ්‍ය සංඛ්‍යාව වැඩි කර ගැනීමේ අරමුණ වෙනුවෙන් දිවා රෑ කැපවී සිටි ඔහු බිරිඳ සහ පවුල් ජීවිතය වෙනුවෙන් වෙන් කළ කාලය ඉතාමත් අල්ප වුණා. ඔවුන්ගේ නිවසේ සිටියේ ඔවුන් දෙදෙනා පමණයි.
සතියේ දින හතේම දිවා කාලය ඇය ගත කළේ නිවසේ තනිවම. ගමනක් බිමනක් යාමට හෝ වෙනත් කටයුත්තක නිරත වීමට අවකාශයක් නොතිබූ ඇයට පාළුව මකාගැනීමට සිටි එකම හිතවතා වූයේ රූපවාහිනී යන්ත්‍රයයි.
ගේ දොර වැඩ කටයුතු අවසන් වූ පසු ඇය මුළු දවස පුරාම කළේ රූපවාහිනිය නැරඹීම සහ නිදා ගැනීමයි. රූපවාහිනියේ ටෙලිනාට්‍යයක දුටු එක්තරා නළුවකුට ඇගේ හිත ගියේ මේ අතරතුරදීයි. රූපවාහිනී තිරයෙන් ඔහු දකින මොහොතක් පාසා මේ ඇල්ම වර්ධනය වුණා.
මේ නිසාම ඇය ඔහු රඟපාන හැම ටෙලිනාට්‍යයක්ම නරඹන්නට පුරුදු වුණා වගේම පුවත්පත්වල ඔහු පිළිබඳව පළ වන ලිපි එකතු කරන්නටත් පෙළඹුණා. තවත් ටික කාලයක් ගත වන විට ඔහු තමාට ආදරය කරන්නේ යැයි ඇයට හිතුණා. රූපවාහිනී තිරයෙන් ඔහු තමා දෙස බලා සිටින බව, තමා සහ සිනාසෙන බව ඇගේ සිතට දැනෙන්නට වුණා. ඒ සිතුවිල්ල ඇගේ පාළු හිතට මහත් සතුටක් වී තිබුණා.
කෙසේ වුවත් ඔහු හමුවීමට හෝ ඔහුගේ දුරකථන අංකය සොයා එයට ඇමතුමක් දීමට හෝ ඇගේ සිතට ධෛර්යයක් තිබුණෙ නෑ. ඇගේ එකම හැඟීම වූයේ ඔහු තමාට ආදරය කරනවා යන සිතුවිල්ල පමණයි. එනිසාම හැම මොහොතකම ඇය හදවතින් ඔහු හා ජීවත් වන්නට පෙළඹුණා. එක්තරා දිනෙක දිවා කාලයේ නිවසේ විදුලි සීනුව නාද වුණු නිසා ඇය දොර විවර කළා.
පැමිණ සිටියේ ආගන්තුක තරුණයන් දෙදෙනෙක්. “අපි අහවල් රක්ෂණ සමාගමේ නියෝජිතයො අපට පුළුවන්ද මිස් එක්ක කතා කරන්න”. ඔවුන් දෙදෙනාගෙන් එක් අයකු ඇගෙන් ඇසුවේ ඉතාමත් ආචාරශීලී ලෙසිනුයි. එක්වරම ඔහු සමග සිටි අනෙක් තරුණයාගේ මුහුණ බැලූ තරුණියට දෑස් අදහාගත නොහැකි වුණා.
ඔහුගේ පෙනුම ඇය ප්‍රිය කළ නළුවාගේ විදියමයි ඇයට දැනුණේ තම උගුර කට වේලී කතා කරන්නට තබා අපහසු වූ ආකාරයකුයි. “ඔයා අර අහවල් නළුවා වගේමයි” ඇයට ඉබේම කියවුණා. “මම නම් එයා නෙවේ. මමත් මේ ඉන්ෂුවරන්ස් කම්පැනි එකේ වැඩ කරන කෙනෙක්”. ඔහු කීවේ විනීත සිනාවක් පාමිනුයි.
එදින ඇය ඔවුන් හා රක්ෂණ හිමිකමක් ලබා ගැනීමට ඉදිරිපත් නොවුණත් ‘මහත්තයාගෙන් අහලා හෙට කෝල් එකක් දෙන්නම්’ යැයි කීවේ තමා ප්‍රිය කරන නළුවාගේ ස්වරූපයෙන් යුතු තරුණයා නැවත දැකීමට තිබෙන අවස්ථාව අහිමි කර ගැනීමට තිබූ අකමැත්ත නිසයි.
නළුවා සියැසින් දැක නොතිබුණත් ඔහු වැනිම කෙනෙකු දකින්නට ලැබිම නිසා ඇගේ සිත මහත් සතුටකින් පිරී තිබුණා. ඔහු නළුවා නොවුණත් නළුවා කෙරෙහි තිබූ ආදරය ඇයට ඔහු පිළිබඳව දැනෙන්නට පටන් ගත්තා. ඒ ආදරය මේ තැනැත්තාට මාරු වීම සිදුවූයේ ඔහු කෙරෙන් ඇය එම නළුවාගේ ප්‍රතිරූපය දැකීම නිසයි.
ඇය ඔහු විසින් ලබාදී තිබූ කාඩ්පත බලා එම අංකයට ඇමතුමක් දී පසුදින නිවසට පැමිණෙන ලෙස දන්වා සිටියේ නැවත ඉතා ඉක්මනින්ම ඔහු දකින්නට බලවත් ආශාවක් සිතේ මෝදු වෙමින් තිබූ නිසයි. “දෙන්නම ආවෙ නැති වුණත් කමක් නෑ. ඔයා විතරක් හරි එන්නකො” ඇය අපහසුවෙන් වුණත් කියා ගත්තේ ඔහු තනිව හමුවීමට තිබූ බලවත් වුවමනාව නිසාමයි.
පොරොන්දු වූ පරිද්දෙන්ම පසු දින ඔහු පැමිණියා. ඒ නළුවා නොවන බව සිත දැන සිටියාට ඇයට ඔහු ඉදිරිපිටදී දැනුණේ තමා නළුවා සමග හිඳින බවකුයි. ඇය එවැනි බැල්මකින් ඔහු දෙස බැලුවා. කෙසේ හෝ මේ කාන්තාවගේ ස්වරූපය අමුතු බවක් තරුණයාට හැඟෙන්නට ඇති.
ඔහු වචන කිහිපයක් හුවමාරු කර ගැනීමෙන් ඔහු එකවරම ඇයට සමීප වී ඇගේ මුහුණ සිප ගත්තා. එම අනපේක්ෂිත සිදුවීමෙන් මහත් සේ තැතිගත් ඇය ඔහු, තල්ලු කර කාමරයට දිව ගියා බයක් වගේම සතුට චකිතය මුසු හැඟීම් දාමයකින්, ඇගේ සිත ව්‍යාකූල වී තිබුණා. ඒ සමගම ඇයට සිතුනේ තමා මෙසේ කාමරයට දිව ඒම තුළින් ඔහු අහිමි වේවි කියන බියයි.
ඇය නැවත සාලයට එන විට ඔහු මිදුලට බැස ගේට්ටුව දෙසට යමින් සිටියා. වහාම ඔහුගේ නමින් ආමන්ත්‍රණය කළ පසු ඔහු පසුපස හැරී බැලුවත් ආපසු පැමිණීම වෙනුවට කළේ වේගයෙන් පිටමං වීමයි. ඇයට දැනුණේ මුළු ලෝකයම කඩා වැටී ගිය අයුරකුයි. ඔහුගේ ජංගම දුරකථනයට ඇය ලබා ගත් ඇමතුම් කිසිවකට ඔහු පිළිතුරු දුන්නෙත් නෑ.
ඊට දෙදිනකට පමණ පසුව එක් සවස් යාමයක ඇගේ සැමියා නිවසට පැමිණියේ මාරාවේශ වූවකු ලෙසිනුයි. ඔහු නැති අතරේ නිවසට පැමිණෙන පිරිමින්ව බලහත්කාරයෙන් වරදට පොළඹවා ගන්නා කාමෙනුවක් ලෙස දක්වමින් මෙම සැමියා බිරිඳට දෝෂාරෝපණය කළා.
නමුත් එවැනි බැරෑරුම් කතාවක් ඔහු කියන්නේ ඇයිදැයි මේ කාන්තාවට වැටහුණේ නෑ. සිදුවී තිබෙන දේ ඇය හරියටම දැන ගත්තේ ඉන් පසුවයි. එදා අර නළුවාගේ පෙනුම ඇති තරුණයා තම නිවසට මඳක් නුදුරින් පිහිටි සිල්ලර වෙළෙඳසලේ හිමිකරු වෙත ගොස් ඇය සම්බන්ධයෙන් දැඩි අපහාසාත්මක චෝදනාවක් එල්ල කර තිබුණා.
“මං අහවල් ඉන්ෂුවරන්ස් එකෙන්. අර ගෙදර ගියේ රාජකාරි වැඩකට. ඒත් ඒ ගෑනු කෙනා මාව වරදට පොළඹවා ගන්න හැදුවා. අපි බොහොම වැදගත් මිනිස්සු. ඔහොම නන්නත්තාරෙ යන ගෑනුන්ට යට වෙන්න වුවමනාවක් අපට නෑ”. ඔහු කඩ හිමියාට කියා තිබුණේ එවැනි කතාවක්. මෙය ඇසූ ඇගේ කෝපය ඉහ වහා ගියා. ඇය වෙනත් දුරකථන අංකයකින් ඔහුට කතා කළා.
‘ඇයි ඒ විදිහෙ බොරු චෝදනාවක් කළේ කඩේ මුදලාලිට. මං මේ ගමේ ඉන්නෙ කොහොමද? ඔහේ මාව කෑවා. ඇය කීවේ හැඬුම් අතරින්. “සොරි මං හිතුවෙ ඔයා මට ආපසු කතා කරන කොට පොලීසියට ෆෝන් කරලා මාව අල්ලලා දෙන්න හදනවා කියලයි.
මගේ ගැලවිල්ලටයි මං ඊට කලින් ඔයා ගැන ඒ විදිහෙ චෝදනාවක් කඩේ මුදලාලිට ඉදිරිපත් කළේ.” ඔහු කළ ඒ නොමනා ක්‍රියාව නිසා ඇයට ආපසු ඇගේ දෙමාපියන් ළඟට යන්න සිදුවුණා.
ඇය විශේෂඥ මනෝ වෛද්‍ය රූමී රූබන් වෙත පැමිණ තිබුණේ මේ සිදුවීම් දාමය නිසා හට ගෙන තිබූ කම්පනය හේතුවෙනුයි. වෛද්‍ය රූමී රූබන් පවසන අන්දමට ඇය ආදර මෝහ රෝගයකින් පෙළෙමින් සිටියා. මෙය මනෝ වෛද්‍ය විද්‍යාවේ හඳුන්වන්නේ එරොටොමේනියා (Erotomania හෙවත් Delusions of love)) යනුවෙන්.
මෙහි ස්වභාවය නම් තමන් දන්නා කියන කෙනෙකු හෝ නොදන්නා නොහඳුනන කෙනෙකු තමාට ආදරය කරන බවට ඇතිවන වැරදි වැටහීමයි. ඒ අනුව ඒ පුද්ගලයා වැනිම වෙනත් කෙනෙකු දුටුවත් ඒ තැනැත්තා ගැනත් අර විදියේම කැමැත්තක් ඇති වෙනවා.
ඒ අනුව කලින් පුද්ගලයා කෙරෙහි තිබූ ආදරය දෙවන පුද්ගලයාට මාරු වීම සිදුවෙනවා. යම් කාලයක් මනෝ වෛද්‍ය ප්‍රතිකාර ගැනීමෙන් මේ මානසික ආබාධය සුව කළ හැකියි. මේ කාන්තාවට දැන් සුවයි. නමුත් ඇගේ සැමියා නම් මේ වන විට ඇයට එරෙහිව දික්කසාද නඩුවක් පවරලයි තිබෙන්නේ.