Pages

May 19, 2013

අමීෂා පට්ට හීතලේ අඩනිරුවතින් දියඇල්ලක් ළග... Amisha Kavindi

අමීෂා පට්ට හීතලේ අඩනිරුවතින් නානු ඔය දියඇල්ලක් ළග කෝච්චියක් එනකන් බලන් ඉදලා..
මල මිනියක් ළගත් හිනාවෙන පින් පොන්ට කන පැලෙන්න කනේ පාරක් ගහල අඩන්නම...

රජිත හිරාන්ව නෙවෙයි මිනිස්සු අඳුරන්නේ පිංපොංව. ඒ වුණාට මට ඕන පිංපොංවත් නෙවෙයි, ජිමාව. ඒත් මූව මළගෙදරකදි දැක්කත් ඉල ඇදෙන්න හිනා යනවා මිසක් සීරියස් මූඩ් එකකට එන්න පුළුවන්ද...? මේ සීන් එකේදි මට ඕන ජිමා (රජිත) ඇත්තටම අඬවන්න. ඇඟ පුරාම හිනාව දුවන රජියව අඬවන එක සක්කරයටවත් කරන්න පුළුවන් දෙයක්ද...? හරේන් ජිමාට කන පුපුරන්න පාරක් ගහනවා. ඒ ෂොට් එකට ජිමා අඬයිද...? එහෙම කියලා බෑ. ජිමා අඬන්න ඕන. ජිමා ඇත්තටම අඬන්න ඕන.
"මචං රජියා... මේ වෙලාවේ උඹේ තාත්තා හිටියානම් කොයිතරම් සතුටු වෙයිද...? තාත්තා නැතිවුණු වෙලාවේ උඹට මොනවද බං හිතුණේ...? කොහොමද උඹ ඒක දරාගත්තේ...?" මම මෙහෙම ඇහුවේ සීන් එකට රජියාගේ සජීවී කඳුළු අවශ්‍ය නිසා. විශ්වාස කරන්න පුළුවන්ද...? රජිත අඬනවා... ඉකි ගගහා අඬනවා... අර ඉල ඇදෙන්න හිනායන පිංපොං අඬනවා.

කැමරා ආම්පන්න සීරුවෙන් හිටියා. හරේන් (අර්ජුන කමලනාත්) ජිමාට කන හරහා කණාමැදිරි එළි විසිවෙන පාරක් ගැහුවා. ඒ වේදනාවටත් වඩා හයියෙන් ජිමා ඉකි ගගහා ඇඬුවා. බලාගෙන හිටපු අපි කාටත් ඇත්තටම ඇඬුණා.

එහෙම කිව්වේ 'අශාවේ මායා චිත්‍රපට අධ්‍යක්‍ෂක අර්ජුන කමලනාත්. 'ආශාවේ මායා' කියන්නේ මම අධ්‍යක්‍ෂණය කරපු දෙවැනි සිනමා නිර්මාණය. 'ඉගිල්ලෙන්න ඇයි දඟලන්නේ' කියන මගේ පළමු නිර්මාණයත් තවම තිරගත නොවුණු නිසා හුඟ දෙනෙක් මාව සිනමා අධ්‍යක්‍ෂවරයෙක් විදියට හඳුනන්නේ නෑ. 'ඉගිල්ලෙන්න ඇයි දඟලන්නේ' චිත්‍රපටය රිද්මා මණ්ඩලයේ සිනමාහල්වල ජූලි, අගෝස්තු කියන මාසවල තිරගත වෙන්න නියමිතයි. සිනමා නිර්මාණයකට සම්බන්ධ වෙන්න කියන දෙවැනි ආරාධනාව මට ලැබුණේ ආචාර්ය අරෝෂ ප්‍රනාන්දු මහත්තයාගෙන්. ඔහුගේ නිෂ්පාදන සහාය ඇතිව අතිශය සාර්ථක චිත්‍රපටයක් රූගත කරලා අවසන් වුණා. මගේ මුල් චිත්‍රපටය ක්‍රියාදාම එකක් වුණත් මේ නිර්මාණය තනිකරම පැණි ෆිල්ම් එකක් කියලා කියන්න පුළුවන්. ආදරය නිසා මිනිසුන්ගේ සිත් වෙනස්වන හැටි මේ කතාවෙන් අපූරුවට පෙන්නලා දෙනවා. ආශාවන් පස්සේ ඉගිල්ලෙන සුන්දර යුවතියක් වටා කතාව ගෙතෙනවා.

නානුඔය පැත්තේ ලස්සන දිය ඇල්ලක් තියෙනවා. ඒ දිය ඇල්ලට උඩින් කෝච්චි පාලමක් තිබුණා. සීන් එකේ හැටියට චිත්‍රපටයේ ප්‍රධාන චරිතය ෂෙරෝන් දියඇල්ල පාමුල ඉන්නවා. එතකොට ඊට උඩින් කෝච්චිය ධාවනය වෙනවා. ෂෙරෝන්ට හිටියේ අමීෂා කාවින්දි. හරියට ට්‍රේන් එක එනවා 2.30ට අපි කඹ දාලා අමීෂාව දිය ඇල්ල පල්ලෙහාට බැස්සුවා. කෙල්ල පොඩි ස්කිනි එකකුයි, පොඩි ෂෝටකුයි ඇඳලා හිටියේ. වෙලාව 2.30යි. කැමරා ආම්පන්න සේරම රෙඩි. ට්‍රේන් එක නෑ. දැන් 3.00යි ඒත් නෑ. වෙලාව 3.30යි ට්‍රේන් එක නෑ. වෙලාව 4.00යි ට්‍රේන් එක නෑ. ඔන්න ට්‍රේන් එක එනවා. දන්නවද වෙලාව කීයද කියලා...? හරියටම 5.30යි. අමීෂා කට කට ගගා වෙව්ල වෙව්ල දියඇල්ල පාමුල හිටියා. සීන් එක ඉවර කරලා එයාට සතියක් ඇඳේ ඉන්නත් සිද්ධ වුණා.

අපි දවස් 20ක් ෂූටින් කළා. නුවරඑළිය, නානුඔය, කොළඹ, කැලණිය, පිළියන්දල, ගොඩගම, ලුනාව, ගල්කිස්ස වගේ ප්‍රදේශවල තමයි රූගත කිරීම් සිදුවුණේ. මම, අමීෂා, ඉමේෂා ජයමාන්න, රෙක්ස් කොඩිප්පිලි, රජිත හිරාන් ඇතුළු ශිල්පීන් රාශියක් මගේ නිර්මාණයට සම්බන්ධ වුණා. විශේෂයෙන්ම ඉමේෂා ජයමාන්න ගැන කියන්න ඕන. ඇය සිංහල සිනමාවට හඳුන්වලා දෙන්නේ 'ආශාවේ මායා' චිත්‍රපටයෙන්. ගෑනු ළමයි 27 දෙනෙක් ඉන්ටර්වීව් කරලා 28 වැනියාව තමයි මට හිතට හරිගියේ. සෑහෙන්න දුක්විඳලා මම සිනමාවට ගෙනාපු කෙල්ල නිසා ටෙලි නාට්‍යවල රඟපාන්නේ නෑ කියන ගිවිසුමත් එක්ක තමයි සම්බන්ධ කරගත්තේ. මොකද ටෙලි නාට්‍ය කබ්බෝ දාගත්තම සිංහල සිනමාව හොම්බෙන් යනවා. මම කැමැති නෑ මගේ නිර්මාණයේ කබ්බෝ ඉන්නවට.

සෙට් එකට හොඳට අව්ව පෑව්වා. නිෂානි වෑන් එකේ ඉඳලා එළියට බහිනවා. එක පාරටම ඉර කළු වළාකුලකින් වැහිලා ගියා. ගිනි ගහන අව්ව අතුරුදන් වෙලා හෙණ ගහ ගහ වහින්න ගත්තා. කට් කට්... කැමරා ආම්පන්න සේරම කුදලගෙන අපි ආයෙත් ඇතුළට ගියා. නිෂානි ගමගේ කියන රංගන ශිල්පිනියගේ රූගත කිරීම් පටන් ගන්න හැම වෙලාවෙම අපිට ඔය අත්දැකීමට මූණදෙන්න සිද්ධවුණානේ. නිෂානිගේ අන්තිම සීන් එක මහ වැස්සෙම ෂූට් කළා. නැත්නම් මේ ආත්මේ ෆිල්ම් එක ඉවර කරගන්න වෙන්නේ නෑ. අපි නිෂානිට කිව්වේ 'වැහිලිහිණි දෙන' කියලා. ආයෙත් වැසි සහිත දර්ශනවලට විතරක් ඇයව සම්බන්ධ කරගන්නත් මම තීරණය කළා.

අර්ජුන තමන්ගේ දෙවැනි නිර්මාණය වූ 'ආශාවේ මායා' ගැන අපිට කිව්වේ රූගත කිරීම් අතර සිදුවුණු රසබර සිදුවීම් එකක් නෑර එකතු කරන ගමන්.

රෙක්ස් කොඩිප්පිලි කියන්නේ සිංහල සිනමාවේ ඉන්න දැවැන්තයෙක්. විශ්වාස කරන්න පුළුවන්ද...? රෙක්ස් කොඩිප්පිලි අර ‍ෙදාඩංගෙඩි දෙකක්වත් උස නැති රජිත හිරාන්ගේ ග්‍රහණයට අහුවෙනවා කියලා. රජිත රෙක්ස් කොඩිප්පිලිව බිම දාගෙන පිස්තෝලේ එල්ල කරන්නේ හරියටම රෙක්ස්ගේ කටට. ඇත්තටම එහෙම දෙයක් සිද්ධ වුණාද කියලා බලන්න නම් ආශාවන් පසුපස හඹා ගිය යෞවනියකගේ කතාව බලන්නම වෙනවා. ඉදිරි දිනකදී ආශාවේ මායා ලෙසින් අපූරු සිදුවීම් මැද්දේ රූගත වන මේ සොඳුරු සිනමා පටය තිරගත වේවි. එතෙක් අර්ජුන කමලනාත් සමඟ සිදුවුණු මේ කතා බහට අපි විරාම තබනවා.

වාසනා සුරංගිකා විතානගේ
Related Posts Plugin for WordPress, Blogger...