පවුල් ආරවුලක් දිග්ගැස්සීමෙන් ඇති වූ වචන හුවමාරුවකදී සිය බිරිඳගේ කටින් පිටවූ එවන් වචනයක් සිතේ තදකරගෙන සිට එතෙක් කලක් පවුලේ අන් දරුවන්ට වඩා ආදරය කළ දියණියගේ ගෙල මිරිකා මරා, මළ සිරුර කුණු ඇළකට දමන්නට තරම් පියෙකුගේ සිතක් දරදඬු වේද?
මේ සටහන් තබන්නට යන්නේ අහිංසක දැරියකට අත්වූ එවන් ඉරණමක් ගැන හෙළි නොවූ කතාවකි. ඒ කිසිවෙකුගේ පෞද්ගලික ජීවිතයට ඇඟිලි ගැසීමේ හෝ අපහාස කිරීමේ අරමුණෙන් නම් නොව දරුවන් සිටින මව්වරුන්ටත් පියවරුන්ටත් මේ ඛේදවාචකය හරහා බොහෝ දේ ඉගෙන ගන්නට ඇති බැවිනි.මේ ඛේදවාචකය පිටුපස සැඟවී ඇත්තේ එකී දියණියගේ මව්පියන් අතර දිගින් දිගටම පැවැති පවුල් ආරවුලකි.
ඒ ආර්ථික ප්‍රශ්න මුල්කරගනිමින් කන්න, බොන්න, අඳින්න පළඳින්න නොමැතිව අඹුසැමියන් අතර ඇතිවන සාමාන්‍ය විදියේ පවුල් ආරවුලක් නොව අනියම් පෙම් පලහිලව්වක් සම්බන්ධයෙන් හටගත් පවුල් ආරවුලකි. ස්වාමියා චෝදනා කරන්නේ බිරිඳට අනියම් පුරුෂයෙකු සිටින බවටය. බිරිඳ චෝදනා කරන්නේ සැමියාට අනියම් සම්බන්ධයක් ඇති බවය.
මේ දෙදෙනාගෙන් කවුරුන් වැරදිද, කවුරුන් නිවැරදිද කියා දන්නේ ඔවුන් දෙදෙනාම පමණි. කෙසේ වෙතත් මේ අයගේ මේ සෙල්ලම් නිසා අවසානයේදි බිලි වන්නේ හයක්හතරක් නොදන්නා අහිංසක සිඟිති දැරියකි.
මේ සටහන් තබන කථාවට පාදක වන දැරිය නමින් උපේක්ෂා හංසනී බණ්ඩාරය. ඇය හත් හැවිරිදිය. බොරැල්ල රත්නාවලී බාලිකා විද්‍යාලයේ දෙවැනි ශ්‍රේණියේ ශිෂ්‍යාවකි. ඒ 2012 වසරේදීය. ඇය ජීවත්ව සිටියා නම් මෙම වසරේ සිටිය යුතු වන්නේ තුන්වැනි ශේ්‍රණියේය.
මැයට දහසය වියැති වැඩිමහල් සහෝදරියක්ද සිටින්නීය. ඇය තිසරි ලක්ෂිලාය. එසේම ඇයට ඩිල්ශාන් මදුසංඛ නම් වූ සහෝදරයෙක්ද සිටී.
එකොළොස් හැවිරිදි ඔහු බොරැල්ල සී.ඩබ්ලිව්.ඩබ්ලිව්.කන්නන්ගර විද්‍යාලයේ හත්වැනි ශේ්‍රණියේ ඉගෙනුම ලබයි. මේ දරුවන්ගේ පියා තුෂාර සමන්ත බණ්ඩාරය. ඔහු ත්‍රිරෝද රථ රියැදුරෙකි. මව සමරක්කුළිගේ සංජීවනීය.
කිරියි පැණියි මෙන් ආදර්ශමත් පවුල් ජීවිතයක් ගත කළ බව පෙනුණු මේ දෙදෙනාගේ පවුල කැඩී විසිරෙන්නේ තුන්වැන්නෙකු මේ දෙදෙනා අතරට රිංගීම හේතුවෙනි. ඒත් සමගම දෙදෙනා මුලින් එකිනෙකා දෙසබලන්නට ගත්තේ සැකයෙනි.
දෙදෙනාගෙන් කාගේ හෝ ජංගම දුරකතනයකට ඇමතුමක් ආවත් ඒ ගැනද එකිනෙකා සැකකරන්නට ගත්තෝය. එකී සැකය වර්ධනය වන්නේ බහින්බස් වීම් ඇති වී දුරදිග ගොස් ගැටුම් බවටද පත්වෙමිනි. නිවසේ බඩු මුට්ටු පොළොවේ ගසමින් ගුටිබැට හුවමාරු කරගන්නා තත්ත්වය තෙක් මේ ගැටුම් දුරදිග යයි.
එකී සැකය මුලින්ම තහවුරු කරනුයේ සැමියාය. ඒ ඔහු අනියම් සම්බන්ධයක් පවත්වාගෙන ගිය කාන්තාවක් සමඟ වෙනම පවුල් ජීවිතයක් ගතකරන්නට යාමිනි. ඒ මෙයට වසර දෙක තුනකට පෙරය. සැමියා අතහැර යාමෙන් අනතුරුව දරුවන් තිදෙනෙකු සමග තනිවන ඇය ජීවන අරගලය ජයගන්නට වෙරදරන්නේ නිවෙස්වල බැල මෙහෙවරේ යෙදෙමිනි.
සැමියා සිය අනියම් බිරින්දෑ සමග සතුටින් පවුල් කන්නට ගියද වැඩිකාලයක් ඊට ආයුෂ නොවීය. ඔහුට සිදුවන්නේ නැවත සිය නීත්‍යනුකූල බිරිඳ සංජීවනීගේ දෙපාමුලට එන්නටය. තමාව අතහැර වෙන අඹුවක් සොයා සැමියා ගියද ඒ තම දරුවන්ගේ පියා බැවින් සමාවදී ඔහුව ගෙට ගන්නට තරම් ඇය කාරුණික වූවාය. ඒ ඔහු දැන්වත් හැදේවි යැයි සිතාය.
එහෙත් ඒ සතුටද වැඩිකල් නොරැඳුනේය. එවර අනියම් සම්බන්ධය ගැන චෝදනාවක් එල්ල වූයේ ඇයට එරෙහිවය. ඒ අසල්වාසී තරුණයෙකු සම්බන්ධකර ගනිමිනි.
මේ අතර වරක් සමන්ත (සැමියා) ඔවුන් පදිංචිව සිටි බොරැල්ල සර්පන්ටයින් පාරේ ස්ථානයකදී කිසියම් පිරිසකගේ ප්‍රහාරයකට ලක්වූයේය. ගමෙන් යන ලෙසට ඔහුට එම මැර පිරිස තර්ජනයද කර තිබිණි. ඒ නිසාම මැර ප්‍රහාරය තමන්ට එල්ල කළේ බිරිඳගේ අනියම් පෙම්වතා බව සමන්ත තදින්ම විශ්වාස කළේය.
ඒ බව ඔහුට වඩාත් දැනෙන්නට වූයේ “උඹට මේපාර ගැස්සුවා විතරයි. වැඩිය දැඟලුවොත් ඊළඟ පාර උඹේ අඬු කඩනව. “ යැයි වරක් බිරිඳ විසින් පවසනු ලැබිමෙනි. බිරිඳ එසේ පැවසුවා යැයි කියන්නේ සමන්තය.
කෙසේ වෙතත්, එවැනි වචනයක් සංජීවනීගේ මුවින් පිටවන්නට මුල පුරන ආරවුල එදා ඇති වන්නේ අසල විහාරස්ථානයේ කඨින පින්කමට සහභාගිවී පිරිත් නූල් ද රැගෙන නිවසට පැමිණි ඇය පිරිත් නූල් දරුවන්ගේ අත්වල පමණක් බැඳීම හේතුවෙනි.
තමාගේ අතේ පිරිත් නූලක් නොබැඳීම නිසා සමන්ත සංජීවනීට බැණ වැදීමෙන් ඇතිවන එම ගැටුම දුරදිග යන්නේ සමන්ත දැඩිව ආදරය කළ බාල දියණිය ඔහුගේ දරුවෙකු නොවන බව සංජීවනීගේ මුවින් එකවරම පිටවීමත් සමගය. එදා ඔහු නිවසින් පිටව යන්නේ සංජීවනීට හොඳහැටි පහර දීමෙන් අනතුරුවය.
එදා නිවසින් එසේ පිටව යන ඔහු සිය කෝපය පිටකරන්නට සැලසුම් කරනුයේ තමාගේ නොවේ යැයි බිරිඳ කී දියණිය මරා දැමීමෙනි. එම සැලසුම ඔහු ක්‍රියාත්මක කරන්නේ ඉකුත් නොවැම්බර් 10 වෙනිදාය. වැඩිමහල් දියණියගේ ජංගම දුරකතනයට ඇමතුමක් ගත් සමන්ත “ලොකු දුව, මට නංගිව බලන්න ඕනෙ. මම එනව පාරට. නංගිව තව ටිකකින් එවන්න.” යැයි කීවේය.
සිය පියා නැගණියට දැඩි ලෙස ආදරය කරුණාව දක්වන බව දැන සිටි වැඩිමල් දැරියද පියා පැමිණෙන බව නැගණියට පවසන්නට වූයේ පියා ඒ එන්නේ නැගණියගේ මාරයාද රැගෙන බව නොදැනය. සමන්ත එන්නේ ඔහුගේ ත්‍රි රෝද රථයෙනි. ඔහු හත් හැවිරිදි දියණිය ත්‍රිරෝද රථයට නංවා ගන්නේ ඇයව රසවත් ආහාර වේලක් ලබාදෙන්නට රාජගිරියේ සුප්‍රකට අවන්හලක් වෙත කැඳවාගෙන යන බව කියමිනි.
නමුත් දියණිය අවන්හල වෙත රැගෙන යනවා වෙනුවට ගෙන යන්නේ රාජගිරිය ඔබේසේකරපුර ප්‍රදේශයේ ඇති තුඩුව නමින් හඳුන්වන ස්ථානයේ පිහිටි ක්‍රීඩාංගණය වෙතය. එම ස්ථානය ගැන ඔහු දන්නේ බොරැල්‍ලේ සිට මිතුරන් සමග ක්‍රිකට් ගසන්නට යන්නේ එම ක්‍රීඩාංගණයට වූ නිසාය.
දියණියද කැටුව යන අතුරතුර ඔහු ගෝතමී පාරේ වෙළෙඳ සලකින් ලණු කැරැල්ලක්ද ලබාගන්නේ සිතේ සටහන් කරගෙන සිටි සිය සැලසුමට අනුවය. ක්‍රීඩාංගණයට ගිය පසු දියණියව එහි ළමා ක්‍රීඩාංගණයේ ඔන්චිලි පද්දවන ඔහු අනතුරුව ඇය කැටුව යන්නේ ක්‍රීඩාංගණයට මායිම්ව ඇති කුණු ඇළ අසලටය.
දියණියගේ ගෙලට ඔහු තොණ්ඩුව දමන්නේ ඒ යන අතරය. දියණියගේ නිසල සිරුර ඔහු කුණු ඇළට විසිකරන්නේ ද ගෙලෙහි සිරකළ ලණු පොටෙන් ඇගේ සිරුර බිම දිගේ ඇදගෙන ගොසිනි. තිරිසනෙකු ලෙස ඒ අහිංසක දියණියව එසේ මරා දමන ඔහු “ උඹේ දුවව මැරුවා. හත් දවසෙ දානෙ දීපන්”යැයි සංජීවනීටද පවසා ඇත.
එහෙත් ඔහු දියණියව මරා දමා ඇතැයි සංජීවනී කිසිවිටකත් විශ්වාස නොකළාය. ඇය සිතුවේ ඔහු තමා සමග තරහට එසේ පවසනවා විය යුතු බවය. කෙසේ වෙතත්, සැමියා සිය දියණියව බලහත්කාරයෙන් රැගෙන ගිය බවත්, දියණිය නැවත තමාට ලබාදෙන ලෙසත් ඉල්ලා බොරැල්ල පොලිසියේ ළමා හා කාන්තා කාර්යංශයට එදිනම පැමිණිල්ලක් කරන්නට සංජීවනී අමතක නොකළාය.
එහෙත් ඒ පැමිණිල්ල හුදෙක් විභාග නොවූ පැමිණිල්ලක් බවට පත්වන්නේ පොලිසිය කොතරම් දුරකතන ඇමතුම් දී සමන්තට පැමිණිල්ල විභාග කරන්නට එන්නට කීවත් ඔහු නොපැමිණීම හේතුවෙනි.
කබරයන්ට ආහාරයක් වෙමින් පැවැති සිඟිති උපේක්ෂාගේ මළ සිරුර වැලිකඩ පොලිසියට හමුවන්නේ මේ අතරතුරදීය. ඒ සිද්ධිය සිදු වී දින තුනකට පසුවය. හඳුනාගන්නට නොහැකි ලෙස ඒ වන විටත් නරක්ව විරූපීව තිබුණු ඒ සිරුර මාසයකට වැඩි කාලයක් තිස්සේ පොලිස් මෘත ශරීරාගාරයේ තිබුණද එය හඳුනාගන්නට කිසිවෙකුත් ඉදිරිපත් නොවූ තැන රජයේ වියදමින් බොරැල්ල කනත්තේ වළ දැමෙන්නේ දෙසැම්බර් 26 වෙනිදාය.
ඒ වළදමන්නේද යම් විටක ඇයව හඳුනාගන්නට යමෙකු ඉදිරිපත් වුවහොත් පෙන්නන්නට ජායාරූපද, ඇය හැඳ සිටි ඇඳුම්ද, පැළඳ සිටි කරාබුද, සුරයද අධිකරණ වෛද්‍යවරුන් භාරයේ තිබියදීය.
සිඟිති උපේක්ෂාගේ සිරුර රජයේ වියදමින්, කාත්කවුරුත් නැති දැරියක ලෙස මිහිදන්වන විට සමන්ත තවත් කස්තිරමක් අල්ලමින් සිටියේය. ඒ හොර රහසේ නිවසට කඩා වැදී බඩුමුට්ටු පොඩිපට්ටම් කර නිවසට ගිනි තැබිමට.
ඔහු නිවසේ ගෑස් සිලින්ඩරය පුපුරවා හරින්නටද එහිදී උත්සාහයක නිරතව ඇත්තේ නිවස දවා හළු කර බිමටම සමතලා කරන්නට හිතාය. එහෙත් ගෑස් ටැංකියට ගිනි ඇවුළුණද එය පුපුරා ගියේ නැත. නමුත් ඔහු මේ සෙල්ලම් ඔක්කොම දමන්නේ නිවසේ කිසිවෙකු නොසිටි මොහොතකය.
මේ ගැන ලියැවෙන්නේ බොරැල්ල පොලිසියේ අපරාධ විමර්ශන අංශයේය. එහි ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නිහාල් ෆ්‍රැන්සිස් ඒ ගැන පරීක්ෂණ අරඹන්නේ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අනුරුද්ධ බණ්ඩාරනායකගේ අධීක්ෂණයෙනි.
උප පොලිස් පරීක්ෂක කේ.පී.ආරියවංශ , පොලිස් කොස්තාපල්වරුන් වන ප්‍රදීප, බස්නායක, සමන්ත, නිහාල් ආතර්, විජේසිංහ, ප්‍රියන්ත යන නිලධාරීන් සමග නිහාල් ෆ්‍රැන්සිස් මූලික විමර්ශන පවත්වා සමන්තව අත්අඩංගුවට ගන්නට කොතරම් උත්සාහ ගත්තද එය එතරම් පහසු කටයුත්තක් නොවීය.
ඒ ඔහු එක තැනක නොසිට පොලිසියට කට්ටි පනින්නට වූ නිසාය. මෙහිදී පොලිසිය මොහුව සොයන්නට වූයේ නිවස ගිනි තැබිම ගැන මිස වෙන කිසිවක් සඳහාද නොවේ. ඔහු දියණිය මරා දැමූ බවක් ඒ වනවිට පොලිසිය දැන නොසිටි හෙයිනි.
පොලිසියට කට්ටිපනිමින් සිටි සමන්ත ත්‍රීවීලර් රක්ෂාවද ඒ වන විට අතහැර දමා තිබුණි. ගම්පහ පස්යාලේත්, මීගමුවේත් ඉදිකිරීම් වැඩ බිම්වල ඔහු ඒ වන විට සිටියේ කම්කරුවෙකු ලෙසිනි. ඒ අතර ඔහු විටෙන් විට සංජීවනීට දුරකතන ඇමතුම් දෙන්නටද අමතක නොකළේය.
“දුවව කෝට්ටේ ළමා නිවාසයකට දැම්මා” දියණිය ගැන ඇය අසන විට වරෙක ඇයට ඔහු එසේ පැවසුවේය. ඒ අනුව සංජීවනී කෝට්ටේ ඇති සෑම ළමා නිවාසයකටම ගොස් දියණිය ගැන විපරම් කරන්නට වූවාය. ඒ කිසිදු ළමා නිවාසයකින් ඇයට දියණිය සොයාගන්නට නොහැකි වූයේ ඇය ළමා නිවාසයක තබා ජීවතුන් අතරද නොසිටි නිසාය.
“දැන් ඉතින් තුන්මාසෙ දානෙ දීල පිනක් කරගනින්” දියණිය ළමා නිවාසවල නොමැති තැන ඒගැන දුරකතනයෙන් විමසූ දිනක ඇයට මෙවැනි කතාවක්ද ඔහු කීවත් ඇය එවිටද දියණියව මරා දමා ඇති බවක් විශ්වාස නොකළාය. ඒ එම දියණියට ඔහු අනෙකුත් දරුවන්ට වඩා ආදරය කළ බව ඇයද දැන සිටි නිසාය. තවත් වරෙක ඔහු ඇයට පවසන්නට වූයේ දරුවා විකුණා ඇති බවකි. ඒත් ඇය ඒ කතාද විශ්වාස නොකළාය.
සමන්ත වරෙක සිය බිරිඳට දරුවා ලබා දෙන්නට කොන්දේසියක්ද දැමුවේය. ඒ නිවස විකුණා රුපියල් ලක්ෂ 15 ක් දීමට හැකිනම් දරුවා දෙන බවටය. මේ අතරතුරේ ඔහු සංජීවනීට එක දිගට ඇමතුම් දෙමින් පවසන්නට වූයේ ඇයව මුණ ගැසෙන්නට අවශ්‍ය බවය. ඒ පැමිණිය හොත් දරුවා දෙන බවද ඔහු කියන්නට විය.
ඇය මේ ගැන අපරාධ අංශයේ ස්ථානාධිපති නිහාල් ෆ්‍රැන්සිස්ට පවසන්නේ පොලිසිය හැර අන් සරණක් ඇයට ඒවන විට නොතිබුණු නිසාය. නිහාල් ෆ්‍රැන්සිස්ගේ කීමට අනුව ඇය ඔහු මුණ ගැසෙන්නට යන්නේ රිජ්වේ ආර්යා ළමා රෝහල අසලටය. ඒ ඉකුත් 14 වෙනිදා සවසය. ඔහු පොලිසියට කොටුවන්නේද එහිදීය. ඒ නිවස ගිනි තබා විනාශ කිරීමේ වරදටය.
පොලිසියට කට්ටි පනිමින් මාසයකට වැඩි කාලයක් තිස්සේ සිටි ඔහුගෙන් දියණිය ගැනද ප්‍රශ්න කරන්නට පොලිසිය අමතක නොකළේය. “ළමයව යාළුවෙකුට දීල රට යැව්වා.”වරෙක ඔහු කීවේය.
“ළමයව මඩමකට දැම්මා” තවත් වරෙක ඔහු කීය. “ගෑනිගේ හොර මිනිහා ගාවයි ළමයා ඉන්නේ”යැයිද ඔහු කීවේය. නමුත් මේ කිසිවක් විශ්වාස නොකළ පොලිසියේ දැඩි ප්‍රශ්න කිරීම් හමුවේ අවසානයේ දරුවා මරා දැමූ බව පිළිගන්නට සමන්තට සිදුවිය.
නමුත් මේ මරණය ගැන සංජීවනී පවසන්නේ මෙවැනි කතාවකි:
“කසාද බැඳපු දවසෙ ඉඳලම අපි අතරෙ ප්‍රශ්න තිබුණා.ලොකු දුව ලැබෙන්න ඉන්න කාලේ ඉඳලම එයාට වෙන සම්බන්ධයක් තිබුණා. ඒ ගැන අහන්න ගියාම තමයි රණ්ඩු සරුවල් ඇති වුණේ. පොඩි දුව අනිත් දරුවො දෙන්නට වඩා මට ආදරෙයි.
හැම තිස්සෙම මගේ පස්සෙනුයි හිටියේ. දුව ඉස්කෝලෙ ගියේ එයා එක්ක ත්‍රී වීලර් එකෙන්. මුස්ලිම් ගෑනු කෙනෙක් එයාට නිතරම කෝල් කරනව කියල දුව ඉස්කෝලෙ ඇරිල ආපුවාම මා එක්ක කියනවා. දුව කේලම් කියනව කියල ඒගැන එයා දුවත් එක්ක හිටියෙ කේන්තියෙන්. ඒ නිසා එයා දුවගෙන් පළිගත්තද දන්නේ නැහැ.”
මේ අතර සමන්ත පොලිසියට කියන්නේ ඇය අනියම් සම්බන්ධයක් පවත්වාගෙන යන බවත් දරුවන් ගැන කැක්කුමක් ඇයට නැති බවත්ය. දරුවා මරා දමන්නේ වෙන කිසිවක් නිසා නොව ඇය තමාගේ දරුවෙකු නොවන බව බිරිඳ පැවැසූ නිසා බවද ඔහු පවසන්නේය.