Pages

Feb 28, 2013

සුගන්ධිගෙ කාමරේට මිනිහෙක් දාල දොර වැහුවලූ

මේ ලියන්නට යන්නේ එක් අයකු කේන්ද්‍ර කොටගත් කතාවක් නොවේ. ඒත් එක්තරා අන්දමකින් ජීවිතයේ වැරදුණු තැන බලන පැතිකඩකි.

අනාචාරයේ හැසිරීම, එවැනි ස්ථාන පවත්වාගෙන යාම ආදී වැරදි ක්‍රියා සම්බන්ධයෙන් ද කාන්තාවෝ සිරගෙදරට එති යති. මීට කලකට ඉහත දී වැලිකඩ බන්ධනාගාරයේදී හමුවූ චරිත රැසකින් මතු වූ දෙදෙනකු ගැනයි මේ.
කෙනකුට ඔවුන් පිළිබඳව පිළිකුලක් දැනෙන්නට පුළුවන. තවත් කෙනකුට ඔවුන් ගැන තරහවක් ඇතිවන්නට පුළුවන.
නමුත් ඇත්ත තේරුම් ගන්නේ නම් අනුකම්පා කිරීමට දයාව දැක්වීමට ඔබට හැකිවනු ඇත.
ගැහැනුන් බොහෝ ලද බොළඳය. ඈත පිටිසර ගම්මානවලින් කොළඹට පැමිණි එහෙමත් තරුණියකි කොළඹ කාක්කන්ට හසු නොවී බේරෙන්නේ . මේ එලෙස කොටු වූ සුගන්ධි ගේ කතාවයි.
සුගන්ධි පෙනුමින් හුරුබුහුටිය. ගමෙන් සිදාදියට පැමිණි ඇයට අවශ්‍ය වූයේ තමන්ටය කියා රැකියාවක් කරන්නටය. ඇය කොළඹට කැන්දාගෙන ආවේ ඇගේ යෙහෙළියකි.

මගේ යාළුවා අවුරුදු පහ හයකට කළින් තමයි ගමෙන් ආවේ. එයයි, මමයි දෙන්නම ඉගෙන ගත්තේ එක ඉස්කෝලේ. අපිට මුලින් නම් අගහිගකම් තිබුණේ නැහැ. ඒත් තාත්තා හදිසියේ මැරුණට පස්සේ අම්මට නංගිටයි, මටයි, මල්ලිලා දෙන්නටයි උගන්වන්න තරම් තත්ත්වයක් තිබුණේ නැහැ. අපිට තිබුණේ ඉන්න ගේයි, ඒ අවට බිමයි විතරයි. තාත්තා කුලී වැඩ කළේ. තාත්තගේ මරණයෙන් පස්සේ අම්මා ගඩොල් කපන තැන්වල වැඩට ගියා. මේ කාලේ වෙනකොට මම සාමාන්‍ය පෙළ ලියලා හිටියේ. මට වැඩිදුර ඉගෙන ගන්න පුළුවන්කමක් තිබුණේ නැහැ. අපිට ඒ තරම් ප්‍රශ්න තිබුණා. අපි උදේට කැවොත් දවල්ට කන්නේ කොහොමද කියලා හිතාගන්න බැරිව හිටියේ. ඒ නිසාමයි මගේ යාළුවා මට කොළඹ යන්න කතා කළාම මං අම්ම කැමැත්ත දෙනතුරුවත් නොඉඳ ගමනට කැමති වුණේ.

මම ගමෙන් එනකොට මට වයස අවුරුදු දහසයයි. මං ඊට ඉස්සෙල්ලා කවදාවත් ගමින් පිට ඇවිත් තිබුණේ නැහැ. යාළුවා මට පෙන්නපු ලෝකේ හරි සුන්දරයි. එයා මාව ගෙනාවේ එයාගේ බෝඩිමේ ඇන්ටි ළගට. ඒ නෝනත් හරි හොඳයි. මං ආව දවසේ එයා මගෙ දිහා බලලා හුගක් සතුටු වුණා. මං දැනගෙන හිටියේ නැහැ මං කරන්න ආව රස්සාව මොකක්ද කියලා. මගේ යාළුවා කිව්වේ ඒක සැලුන් එකක් කියලා. ගමෙන් ඇඳගෙන ආව චීත්ත ගවුම වෙනුවට මට අලුත් මෝස්තරවල ඇඳුම්, සෙන්ට් පවුඩර් ලැබුණා. මං හිතුවා මේක තමයි කොළඹ ජීවිතේ කියලා. මටම කියලා වෙනම කාමරයක් ලැබුණා.

ඒත් එක දවසක් හැන්දෑවේ බෝඩිමේ ඇන්ටි මගෙ කාමරයට මිනිහෙක් ගෙනල්ලා දාලා ගියාට පස්සේ මට මේ මොකක්ද වුණේ කියලා අදහා ගන්න බැරි වුණා. මං කාමරයෙන් පැනලා යන්න බැලුවා. ඒත් කාමරය අගුලු දාලා තිබුණේ. ඒ මිනිහට අවනත වෙනවා ඇරෙන්න මට වෙන කරන්න දෙයක් තිබුණේ නැහැ. එදා රෑ ගෙවිලා ගියා. පහුවදා උදේ ඇන්ටි මගේ අතට රුපියල් තුන්දාහක් දුන්නා. එච්චර මුදලක් මගෙ අතට ලැබුණෙ පළවෙනි වතාවට. ඒකෙන් මොනවද කරන්නේ කියලා මට හිතාගන්න බැරි වුණා. ඒත් මං මගෙ මුළු ජීවිතේම රුපියල් තුන්දාහකට වික්කා කියලා හිතෙනකොට මට වහ කන්න හිතෙනවා. මට වහ කන්න බැහැ. ගමේ ඉන්න අම්මවයි පොඩි එවුන්වයි බලන්න කෙනෙක් නැති නිසා. ඊට පස්සේ හැම රැයක්ම ගෙවිලා ගියේ කවුරු හරි නන්නාඳුනන මිනිහෙක් එක්ක. සමහර දවස්වලට පොලිසියෙන් පැන්නා.

අපිව අල්ලලා උසාවි දැම්මා. ඒත් පහුවදා උදේට ඇන්ටි අපිව ඇප තියලා බේරගන්නවා මං මීට කලින් කිහිප වතාවක්ම මෙහෙ ඇවිත් ගිහින් තියෙනවා. මේ ජීවිතෙන් මිදෙන්න කියලා හිරගෙදර දී අපට හිතවත් අය කිව්වත් සල්ලි නැතුව මං කොහොමද ගමට යන්නේ. අම්මා හිතාගෙන ඉන්නේ මම සැලුන් එකක වැඩ කියලා. නංගි, මල්ලි ඉස්කෝලේ යනවා. ඒ මං මෙහෙ විකිණෙන නිසා. මේ රස්සාවෙන් අත්මිදුණොත් මං කොහොමද ගෙදර අයව බලන්නේ...?

ඒ සුගන්ධි ඉතිරි කළ පැනයයි.

මේ ඉන්ද්‍රානිගේ කතාවයි.

ඉන්ද්‍රානි උපන්දා සිට හැදුණේ වැඩුණේ ගෙවල් පේළියේ. පුංචි කාලේ ඉඳලම දැක්කේ ගෙවල් පේළියේ සිදුවන නොහොබිනා වැඩ. තාත්තා හැමදාම ගෙදර ආවේ කටගොන්නක් බීගෙන. ඒ ආව වෙලාවට ඉන්ද්‍රානි ගැනවත්, අම්මා ගැනවත් තාත්තට ගානක් තිබුණේ නැහැ.

අපේ අම්මා දුක් විඳපු ගෑනියෙක්. සමහර දවස්වලට තාත්තා හොඳටම බීලා ඇවිල්ලා අම්මට ගහනවා. ඒ ගහන්නෙත් වත්තේ ඉන්න පිරිමින්ගෙ නම් කිය කියා. තාත්තා බීගෙන ගෙදර ආව දවසට අම්මා රෑට ගෙදර ඉන්නවා මං දැකලා නැහැ. පුංචි කාලේ මට හරියට කන්න බොන්නවත් ලැබුණේ නැහැ. මං ලොකු ළමයෙක් වුණාම නම් අම්මයි, තාත්තයි දෙන්නම එකතු වෙලා ලොකු උත්සවයක් ගත්තා වත්තෙම අයට කියලා. හරියට මාව කසාද බන්දලා දෙනවා වගේ. ඒත් එදායින් පස්සේ ආයෙමත් ඒ දෙන්නා ඒ දෙන්නට පුරුදු ජීවිත ගතකරන්න ගත්තා. යාන්තම් මට අවුරුදු පහළොව පිරෙන්න ඇති. ඒ කාලේ තමයි මට සුනිල් හමුවුණේ. මං හිතුවා එයා මගෙ ඉටු දෙවියා කියලා. මං සුනිල් එක්ක යන්න ගියා.

මං හිතුවේ එයා හරි හොඳ කෙනෙක් කියලා. ඒ වෙනකොට සුනිල්ට අවුරුදු තිහක් විතර ඇති. ඒත් ඒ මිනිහා හොඳ මිනිහෙක් නෙමෙයි. මට ඒ බව තේරුම් යනකොට මං ප්‍රමාද වැඩියි. සුනිල් කියන්නේ කසාද බැඳලා දරුවෝ ඉන්න මිනිහෙක්. මං ඒ බව දැනගත්තේ සුනිල් එක්ක ගිහිල්ලා අවුරුද්දකට විතර පස්සේ. මං ආයෙත් ගෙදර ආවා. ඒත් තාත්තා මාව පිළිගත්තේ නැහැ. ඒ වෙනකොට අම්මා වෙන මිනිහෙක් එක්ක ගිහිල්ලා. මට යන්න එන්න තැනක් තිබුණේ නැහැ. මට අයිති වුණේ මහ පාර. දවල් තිස්සේ කොහේ හරි ඉඳලා රෑට කා එක්ක හරි යනවා. මං දවස ගෙවා ගත්තේ එහෙම.

ඒත් මං නොහිතපු විදිහට දරුවෙක් ලැඛෙන්න ආවා. මට හිතක් පපුවක් නැති ගැහැනියෙක් වගේ දරුවා මරලා දාන්න බැහැ. මං දහඅතේ කල්පනා කළා මොකද කරන්නේ කියලා. දරුවගේ තාත්තා කවුරු කියලා කියන්නද? අන්තිමට මාව හම්බවෙන්න එන මහත්තයෙක්ම කිව්වා දරුවව කාටහරි දෙමු කියලා. ඒත් දරුවා ලැඛෙනතුරු මං කොහෙ කියලා ඉන්නද? මං දින ගැන ගැන හිටියා. දරුවා ලැඛෙන්න ඔන්න මෙන්න තියෙද්දී කුඩු පැකට් එකකුත් එක්ක පොලිසියට මාට්ටු වෙන විදිහට හිටියා. මාව උසාවි දැම්මා. කවුරුවත් නැහැ ඇප දෙන්න. මං උසාවියෙන් ආවේ හිරගෙදරට නෙමෙයි, රෝහලට. දරුවා ලැබුණා.

ඊට පස්සේ හිරගෙදරට. දරුවට මට දෙන්න බැරි සැප හිරගෙදරදී ලැබුණා. තව මාස දෙක තුනකින් මං හිරෙන් නිදහස්. ඒ ගියහම මං දරුවා අර කිව්ව මහත්තයා ලව්වා කාටහරි දෙනවා. ඒත් දරුවගේ මුහුණ දකිනකොට දෙන්න ලෝබයි. මේ මගේම බඩේ ඉපදිච්ච දරුවා නේද කියලා හිතෙනවා. ඒත් ගෙයක් දොරක් හරි හමන් චරිතයක් නැති මම මටම කියලා සැමියෙක්, දරුවට තාත්තෙක් නැතිව මං කොහොමද මේ පැටියාව හදන්නේ. මේ නොදන්න ජීවිතය කාලකන්නි කරන්න පුළුවන්ද?

සුගන්ධි හා ඉන්ද්‍රානි යනු මීට කලකට පෙර හමුවූ තවත් එක් චරිත දෙකක් පමණි. මෙවැනි ජීවිත සිදුවීම් ඇති කාන්තාවෝ එදා මෙදාතුර සිරගෙදර එති යති. සිරගෙදර පිරී ඇත්තේ කඳුළින්, සුසුමින් ය. මේ ගැහැනුන් සමාජයටම පිළිලයක් සේ සිතා ඔවුන් බැහැර කළ යුතු ද? පිළිකුල් කළ යුතු ද? ඔවුන්ට ජීවිතයේ කොතැනක හෝ වැරදී ඇත. ඉතින් අවශ්‍ය ඔවුන් ගැරහීමට ලක්කිරීම නොව ඔවුන්ට ජීවිතය හදාගැනීමට යහ මග පෙන්වීමය.

සිරගෙදරින් ජීවිතය හදාගෙන ඉන් පිටව ගොස් යහපත් ජීවිත ගතකරන්මෝ ද වෙති. එමෙන්ම තව තවත් අගාධයට යන්නෝ ද වෙති. ඇතැම් විට සුගන්ධිලා, ඉන්ද්‍රානිලා වැන්නියෝ බිහිකිරීමට සමාජය ද, දායක වේ. සුගන්ධිලා, ඉන්ද්‍රානිලාට යළිත් ජීවිතය දිය නොහැකි වුවද ඔවුන් වැන්නියෝ යළිත් බිහිනොකිරීමට කටයුතු කිරීමේ හැකියාව සමාජයට ඇත.

සටහන -රෝහණ ජයලාල්
Related Posts Plugin for WordPress, Blogger...