ඔයා පහුගිය දවස්වල නිහඬ වෙලා හිටියා නේද?
ඇත්තටම මම නිහඬ වුණේ රැල්ලට යන්න කැමැති නැති නිසා...
සිරස සුපර් ස්ටාර් තරගය මොන වගේද?
ඔව්, ඇත්තටම හොඳ තරගයක්. ඒ ගැන නම් ගොඩාක් දේවල් කියන්න පුළුවන්. ඉදිරියට එන දක්ෂයන්ට ලොකු අත්වැලක් වුණා. මම පොළොන්නරුවෙන් ආපු කෙනෙක්. මං වගේ දුර පළාත්වල අයට ලොකු ශක්තියක් වෙන්න සුපර් ස්ටාර් තරගයට පුළුවන් වුණා. මගේ හීන හැබෑ කරගත්තෙ ඒ තරගයෙන්.
සුපර් ස්ටාර් කිරුළ අහිමි වීම ගැන පොඩි දුකක්වත් නැද්ද?
නෑ... ඇත්තටම මට දුකක් නෑ. ඒ තරගය තමයි මාව ඉදිරියට ගත්තෙ. මම හයවැනියාට ආපු එක ගැන අවංකවම සතුටු වෙනවා. ලොකු ප්‍රතිචාරයක් ලැබුණා.
ඔයා ගායකයෙන් නොවුණානම්?
ඇත්ත කතාව නම් මට අරමුණක් තිබුණෙ නෑ. මියුසික්ම කරාවි. නැත්නම් ගමට වෙලා ඉන්නවා.
මේ දවස්වල අලුත්ම වැඩ මොනවද?
'ඔබ මට අහිමි වෙලා' සින්දුවත් එක්ක මට වැඩ ගොඩක් යෙදිලා තියෙනවා. මම තව අලුත් සින්දු දෙකක් කරලා තියෙනවා. ඒවත් මියුසික් වීඩියෝස් එක්කමයි එන්නෙ. තව... මේ දවස්වල මියුසිකල් ෂෝස්වලට යනවා.
අලුත්ම සින්දුවටත් ගොඩාක් ප්‍රතිචාර ලැබෙනවා ඇති?
ඔව්... ඉතාමත්ම හොඳ ප්‍රතිචාර ලැබෙනවා. මගෙ කලින් 'සිදඟන' සින්දුවටත් වඩා මේ සින්දුවට ලැබෙන ප්‍රතිචාර වැඩියි.
දැනට ඔයාගෙ සින්දුව ගොඩාක් ජනප්‍රියයි...
කාලයක් තිස්සෙ නිහඬව ඉඳලා මට හිතුණා රදීශ් වැන්දබෝනා එක්ක නිර්මාණයක් කරන්න. මට ඔහුව හඳුන්වලා දුන්නෙ අපේ ශිහාන් මිහිරංග. රදීශ් කියන්නෙ රසික ජනතාවට දැනෙන විදියට සංගීතය කරපු කෙනෙක්. මගෙ ගීතය ලිව්වෙ සජිත් විනෝද් චතුරංග. සංගීතය රදීශ්ගෙන්.
කලින් 'හිත හදාගන්න' සින්දුව ඔයාගෙ ජීවිතේ ලොකු පෙරළියක් කළා නේද?
ඔව්, අනිවාර්යෙන්ම. ඒක ගොඩක් මාධ්‍යයේ නොගියට, කාලයක් යද්දි මොබයිල් රිඟින් ටෝන් එකක් විදියට රසිකයො අතරට ගියා. ඒ සින්දුවෙ ගායකයා මම කියලා දැනගත්තට පස්සෙ ලැබුණ ප්‍රතිචාර නම් ඉහළයි.
ආදරේ විරහව ගැනම ගොඩාක් සින්දු ලියැවෙන්නෙ ඇයි?
ගොඩාක් ඉන්නෙ ආදරේ විරහ දුක විඳපු අය. ඇත්තටම අපිට ඒක දැනෙනවා. දුක වගේම සතුටත් එකතු කරලා සින්දුව ලිව්වම ඒක බහුතරයකට රසවිඳින්න පුළුවන්.
ගායනයෙදී කාව හරි අනුකරණය කරනවාද?
ඕනෑම ගායකයෙක් කවුරුන්ම හෝ අනුකරණය කරනවා. මම සුපර්ස්ටාර්වලදී අනුකරණය කරලා තියෙනවා. නමුත් මගෙ නිර්මාණවලදි මම කවදාවත්ම අනුකරණය කරන්නෙ නෑ.
අලුත් අවුරුදදේ මොනවද කරන්න හිතන් ඉන්නෙ?
හ්ම්... මට ගිය අවුරුද්දෙ මුල කිසිම බලාපොරොත්තුවක් නැතුව හිටියෙ. මොකද සමහර අයගෙ බලපුළුවන්කාරකම්වලට, සල්ලිවලට මියුසික් කියන එකත් වළට වැටිල තියෙන්නෙ. නමුත් මම ගිය අවුරුද්දෙ අවසානයෙදි වෙනම ආරම්භයක් ගත්තා. ඒ ආරම්භයත් එක්ක ඉදිරියට යනවා.