Pages

Mar 5, 2013

ලැම මිස ළය නොපෙනෙන ළඳුනේ| Gossip Lanka

නිවි නිවී පත්තුවෙන එක එක පාට ලයිට් එළි නිසා ඇගේ ඇඳුමේත් මුහුණේත් පාට හරියටම තෝරාගන්නත් බැරි ගාණයි.

මිතුරෙක් පැවැසූ මං සලකුණු ඔස්සේ පැමිණි මගේ ගමනාන්තය වුණේ මේ රාත්‍රි සමාජ ශාලාව.

ඔහුම පැවැසූ දේහ ලක්ෂණ අනුව මා බලා සිටින්නේ ඇය දෙස විය යුතු බව හිත කීවත් එය ප්‍රත්‍යක්ෂ කර දැනීමේ දැඩි වුවමනාවෙන් පෙළුණ මම ඒ සඳහා ප්‍රවේශයක් සොයාගත නොහැකිව අතරමං වී සිටියා.

උඹලගෙ පාර දිගට හරියන ස්ටෝරියක් තියෙනවා කියමින් දුරකතනය හරහා මා ඇමැතූ මිතුරා පැවැසූ තොරතුරු නිවැරැදි නම් ඈ මෙතැනට පැමිණෙන්නේ සතියකට එක් දිනක් පමණි.

අද නොහැකි වුවහොත් නැවතත් මට ඈ මුණගැසිය හැකි වන්නේ තවත් සතියකට පසුවය. එයද විශ්වාසය තැබිය හැකි කරුණක් නොවන්නේ හෙට දිනක් ගැන විශ්වාසයක් තැබිය නොහැකි රටක අප ජීවත් වන නිසාම නොව ගෙදර‍දොරේ කටයුතු හා රාජකාරි වැඩ ආදී දහසකුත් කර්තව්‍යයන් අතරේ සිරවී සිටින මටද මෙබඳු අවකාශයක් ලැබීමට ඇති ඉඩකඩ මඳ වීම නිසාය.

කෙසේ හෝ පැමිණි කාරණාව ඉටු කර ගනිමි යැයි දැඩි අදිටනකට මා එළැඹියේ මෙබඳු කල්පනාවන් පහළ වෙද්දීයි. මා විසින් ඇණවුම් කරන ලදුව වේටර්වරයා විසින් ගෙනැවිත් තබන ලද අයිස් කැට මුසු බ්‍රැන්ඩි වීදුරුව උගුරෙන් පහළට ගලා යෑමත් සමඟම කෙළින්ම ඈ වෙත ගොස් කතා බහ කිරීමට මා තුළ පැවැති කුහුල තරමක් දුරට පහව යමින් තිබිණි. දණහිසෙන් වියතක් පමණ ඉහළට වන්නට ඇඳි කෙටි සායෙන් නිරාවණය වුණ දෙකලවා කෙරෙහි කිසිදු තැකීමක් නොමැතිව කකුලක් පිට කකුලක් දමාගෙන බියර් වීදුරුවක් තොල ගාමින් හුන් ඈ මා පැමිණෙනු දුටුවද ඒ පිළිබඳ කිසිදු තැකීමක් නොකර සිටීමට වග බලා ගත්තාය.

මං මෙතැන වාඩි වුණාට කමක් නැද්ද ක්ෂණයකින් මගේ හිස සිට පාදාන්තය දක්වා හෙළන ලද බැල්මකින් අනතුරුව ඉවත බලාගත් ආකාරය සුහද පිළිගැනීමක පෙර ලකුණු නොවුවද විරෝධතාවක් නොදක්වා සිටීමේ වාසිය අවියක් කොටගෙන මම ඈට මුහුණලා වූ පුටුවේ අසුන් ගතිමි.

අනතුරුව ගෙවී ගිය කාලය විනාඩි දහයකට මඳක් හෝ වැඩි මිසක් අඩු නොවන්නට ඇත. මොකෙක් හරි මෝරෙක් ඇවිත් මේකිව උස්සනකල්ද උඹ බලන් ඉන්නෙ හාල්පාරුවො ඉවසා ගන්නට නොහැකි දහසකුත් අවලාද මගේ හිතින්ම මට එල්ල වෙද්දී අවසානයේදී මම යළිත් හඬ අවදි කළෙමි.

ඔයා නේද නංගි ජීන් කියන්නෙ?
උපන්තේකට දැක හෝ දැන හඳුනාගෙන හෝ නැති අයෙක් තම නම කියා කතා කිරීමේදී ඇති වන අන්දමේ කුහුලක් හෝ එවැනි වෙනත් හැඟීමක් ඇගෙන් පළ නොවූ තැන මම මොහොතකට පසු බා සිටියේ මා කිට්ටු කර ඇත්තේ වැරැදි ගොදුරකටදැයි කල්පනා වීමෙනි.
ඔව්. ඉතිං ඒකෙන් මොකක්ද ඔයාට ඇති වැඩේ
මා බොහෝ අපහසුතාවට ලක් කළ විනාඩියක දෙකක කාල පරාසයකින් පසුව ඇය සෘජු හඩින් විමසුවාය.

නෑ මගෙ යාළුවෙක් ඔයා ගැන කිව්වා. දැක්කහම මං හිතුවා ඔයා බව. ඒකයි කතා කළේ
විස්තර විචාරණය අතරතුර මිතුරාගේ නම සඳහන් කිරීමටද මා අමතක නොකළේ එසේ කිරීමෙන් මගේ වැඩේ බොහෝ දුරට කරගත හැකි වන බව මිතුරා කලින්ම පවසා තිබූ නිසාය. ඔහු පැවැසූ දේ පරම සත්‍යයක් බව මට පසක් වුණේ මෙතෙක් අනුගමනය කළ නිහඬ සහ දැඩි පිළිවෙත පසෙක ලා සැහැල්ලු හා මිත්‍රශීලී ස්වභාවයක් ඇගේ මුහුණට ආරෝපණය වනු දැකීමෙනි.

ඔයත් ---- ද වැඩ
මිතුරාගේ රැකියා ක්ෂේත්‍රය සඳහන් කරමින් ඈ විමසා සිටියාය.
නෑ මම නම් ඒකෙ නෙවේ. ඒත් අපි හොඳ යාළුවෝ. මම මව්බිම පත්තරේ
මීඩියාවල වැඩ කරන මගෙත් යාළුවො ඉන්නවා කියමින් කතාවට ප්‍රවිෂ්ට වූ ඈ පෞද්ගලික රූපවාහිනිවල සේවය කරන මාද ඇතැම් විට අසා ඇති නම් කීපයක් කියාගෙන ගියාය.

ඉතින් මොකක්ද මාත් එක්ක තියෙන කතාව. ඔයගොල්ලන්ගෙ පත්තරේ මගෙ ෆොටෝ එකක් දාන්නද?
එහෙම එකක් වුණත් කරන්න බැරිවෙන එකක් නෑ. ඔයාට එහෙම වුවමනාවක් තියෙනවා නම් මම ඒවා කරන යාළුවො ටිකක් අඳුන්වලා දෙන්නම් මා පැවැසුවේ ටැබ්ලොයිඩ් පත්තර මුහුණතක් ඇගේ රුවින් සැරසීමේ උනන්දුවක් ඇත්නම් ඒ හරහා මගේ ගමනට ප්‍රවිෂ්ට වීමේ අදහසිනි.

අයියෝ ඒකට නම් මම කැමති නෑ. මට ඕනෙ නෑ මාව මේ විදියට ප්‍රසිද්ධ කරගන්න. කීයක් හරි හම්බ කරගන්න විතරයි මට ඕනෙ මගෙ යාළුවා කිව්වා ඔයා හොඳට ඉගෙනගෙන තියෙනවා කියලා. ඔයාගෙ රස්සාවත් එක්ක ඉතින්... ඒක ඉතින් ටිකක් වෙනස්නෙ

ඉගෙනගෙන තියෙනවා නෙවෙයි මම තාම ඉගෙන ගන්නවා. ඒක ඉවරවෙනකල් තමයි මේ ඔක්කොම සෙල්ලම්ඉතින් ඔයා කැමති නැද්ද ඔයාගෙ කතාව අපේ පත්තරේට කියන්න. ඔයාට වැරදුණ තැන් සමාජය දැනගත්තාම ඒකෙන් කාටහරි වැඩක් වෙයිනෙ

මට වැරදුණ තැනක් නම් නෑ. ඒත් ඔයාට ඕනෙ නම් මම කියන්නම්. මම වගේ වරද්දගන්නෙ නැතුව වැඩ කරන්න ඒක උදවුවක් වෙයිනෙ කාට හරි

මොන හතරබීරි කතාවක්ද? කියා හිත කෑ ගැසූ මුත් ඒ කතාව ඇසීමේ දැඩි වුවමනාවෙන් මා පෙළෙන බව කියා පෑ හැකි ආකාරයට මුහුණ සකසා ගැනීම එතරම් අපහසුවක් වූයේ නැත.

මම ඉපදුණේ කොළඹයි. කොළඹ කියන්නෙ මහ පුදුමාකාර තැනක්. පුදුමාකාර කියන එකේ හොඳ වගේම නරකටත් පාවිච්චි කරන්න පුළුවන් බව මම දන්නවා. ඒත් හොඳට හරි නරකට හරි කොළඹ කියන්නෙ පුදුමාකාර තැනක්

ඇගේ මුවින් පිටවෙන්නේ මා ඇසීමට බලාපොරොත්තු වන අන්දමේ කිසිවක් නොවූවත් මා කළේ සාවධානයෙන් සවන් දී සිටීම පමණකි. ඉවසීමෙන් සැනසීම පමණක් නොව මා දැන ගැනීමේ අපේක්ෂාවෙන් පසුවන ඇගේ කතාවද මට දැන ගැනීමට ලැඛෙනු ඇති නිසාය.

පවුලෙ එකම දරුවා මම. අපේ ගෙදර ඒ තරම් ලොකු නැති බැරිකමක් තිබුණෙ නම් නෑ. ඒ කියන්නෙ කන්න අඳින්න නැතිව අපි හිටියා කියලා මට කවදාවත් මතක නෑ. පේළි ගෙදරක ජීවත් වුණා වුණත් අපි හොඳට කාලා බීලා හිටියා

කොහොමත් ගොඩක් දුරට ඒ වගේ පරිසරයක ඉන්නෙ කාලා බීලා සන්තෝෂෙන් ජීවත් වෙන හිත හොඳ අය කියලනෙ කතාවටත් කියන්නෙ

හිත හොඳ නම් මම දන්නෙ නෑ. කන්න අඳින්න මිසක් ඒ ගෙදර වෙන කිසි දෙයක් නම් තිබුණෙ නෑ. තාත්තට අම්මව පේන්න බෑ. මට අම්මා නැතුව බෑ. ඒ නිසාම තාත්තට මාවත් පේන්න බෑ. ගෙදරම පොඩි කෑල්ලක සිල්ලර බඩු දාගෙන ඒවා වත්තෙ අයට විකුණන එක තමයි තාත්තා කළේ. පාරට ගිහින් කඩේට බඩු ගෙනැත් දැම්මේ අම්මා..

ඒත් කවදාවත් තාත්තා අම්මට බඩු ගේන්න සල්ලි දෙනවා මං දැකලා නෑ. වෙන ගෙවල්වල ගෑනු අය කඩේ ගිහින් සතියකට මාසෙකට බඩු ගේන්නෙ. ඒවගේ අපේ අම්මත් බඩු ගෙනත් දා ගන්නවා. තාත්තා ඒවා කඩෙන් තියනවා. උයන්න ඕනෙ දේවල් අම්මා ගන්නවා. වෙළදාම් කරන්න ඕනෙ දෙයක් තාත්තා ගන්නවා. ඒත් මට පහු වෙනකොට තේරුණා අපි හොඳට කාලා ඇඳලා හිටියේ ඒ විදියට ලබපු ආදායමකින් නම් නෙවෙයි කියලා.

කෙමෙන් කෙමෙන් ඈ අත රැඳි බියර් වීදුරුව හිස් වෙමින් පැවතීමත් කුමක් හෝ පානයක අවශ්‍යතාව මටද දැඩි සේ දැනීමත් නිසා,

නංගි තව මොනවා හරි බොමුද?
හරි මට බියර් එකයි. දවසට දෙකට වඩා මම බොන්නෙ නෑ. මොකද හෙට උදේට ඔළුව උස්සගන්න එපායැ

ඉතින් කියන්නකො ඉතුරු ටික

මං මොන්ටිසෝරි ගියා. ඉස්කෝලෙ ගියා. හැමදේම කළා. ඒ කිසිම තැනක් අපේ වත්ත අහල පහළ නෙවෙයි. මට මතකයි මම මොන්ටිසෝරි ගියේ බස් දෙකක. ළඟ ළඟ තමයි. ඒත් බස් දෙකක් මාරු කරගෙන අපේ අම්මා මාව වඩාගෙන ඈත මොන්ටිසෝරියකට ගෙනිච්චා. වත්තෙන් එළියට යන හැම වෙලාවකම හොඳට ඇඳලා යන්න අම්මා පුරුදු වෙලා හිටියා. චූටි කාලෙ ඉඳන්ම මටත් ඒ විදියට තමයි ඇන්දුවේ. පාට පාට ලස්සන ගවුම්. ඒ පාටවල්වලටම ගැළපෙන සෙරෙප්පු, කොණ්ඩ කටු. වත්තෙ කාටවත්ම ඒ විදියෙ ඇඳුම් තිබුණෙ නෑ.

ගොඩක් වෙලාවට මගෙ වයසෙ ඉන්න ළමයෙක්ට කොහෙ හරි වැදගත් ගමනක් යන්න ඕනෙ වුණාම ඇඳුමක් ඉල්ලගන්න ආවෙ අපේ ගෙදරට. දෙතුන් පාරක් ඇඳලා මම අයින් කරපු එකක් හරි මට අඳින්න බැරි එකක් හරි මිසක් අම්මා කාටවත් මගෙ දේවල් දුන්නෙ නෑ. එහෙම දීලා බේරෙන්න බෑ කියලා තමයි අම්මා කිව්වෙ. ඉස්කෝලෙ ගියෙත් ගෙදරින් ඈත තිබුණ එකකට. ඒ හැම තැනකම මාව ගෙනිච්චෙ අම්මා. තාත්තා වත්තෙන් එළියට ගියේ හරිම කලාතුරකින්. ඇත්තම කියනවා නම් එළියට නොගිය තරම්.

ඉතින් ඒ ගිය තැන්වලින් ඔයාව කොන් වුණේ නැද්ද වත්තෙ කියලා කවුද දන්නෙ මම වත්තක ළමයෙක් කියලා. ඒ හැම තැනකටම දුන්නෙ බොරු එඩ්‍රස්. බොරු එඩ්‍රස් කියන්නෙ අපේ ගෙදර එක නෙවේ. අම්මා දන්න අඳුනන සල්ලිකාර ගෙදරක එඩ්‍රස් එක තමයි අපි දුන්නෙ. අනික අපි ඇඳලා කරලා ඉන්න විදියටත් හිතන්න බෑ කාටවත් අපි වත්තක කියලා. ඕන කෙනෙක් පුරුදු වෙලා ඉන්නෙ ඇඳුමෙන් මිනිස්සු මනින්නනේ. ඒකෙ ප්‍රයෝජන ගන්න අපේ අම්මා හොඳට දන්නවා.

ඊට පස්සෙ මොකද වුණේ?
මම උසස් පෙළ කරනකොට තමයි අම්මා මැරුණේ. මරණෙට හේතුව මම නම් තාමත් දන්නෙ නෑ. අන්තිම දවස්වල අම්මා හොඳටම කෙට්ටු වෙලා අඳුනන්නත් බැරි වුණා. එයාම ගිහින් ඉස්පිරිතාලෙ නැවතුණා. ඒත් එක සැරයක්වත් මම අම්මව බලන්න ගියේ නෑ. එයා මාව පොරොන්දු කරවාගත්තා එහෙම එන්නෑ කියලා.

ඉස්පිරිතාලෙන් ටෙලිග්‍රෑම් එක ආවාම තාත්තා ගිහින් එහෙදිම මිනියෙ වැඩ ඉවර කරලා ආවා. ආපසු ගෙදර ඇවිත් තමයි මට කිවුවෙත්. මං හිතන්නෙ ඒ තාත්තා අවුරුදු ගාණකට පස්සෙ මාත් එක්ක කතා කළාමයි.අම්මා මැරුණාකිවුවා. ඒක හරියට අම්මා පාරට යන්න ලෑස්ති වෙනකොට පරිප්පු ඉවරයි කියනවා වගේ. මම ඇඬුවෙ නෑ. ඒත් මට මහ අමුත්තක් දැනුණා නිකම් හිස් වගේ. කොහොමත් අම්මා ඉස්පිරිතාලෙ නවතින්න ගිය දා ඉඳන් ඒක මට දැනුණා.

අම්මා මැරුණා කියලා ඇහෙනකොට මට දැනුණා ඒ හිස්කම සදාකාලිකයි කියලා. මට තේරුණා මම තනි වුණ බව. තාත්තා ජීවතුන් අතර හිටියා වුණත් නැති වුණත් ඒකෙ වෙනසක් තිබුණෙ නෑ. අම්මා මැරුණට පස්සෙ මට හුඟක්ම අමාරු වුණේ මගේ වැඩ ටික කරගන්න එක. උයන එක නම් තාත්තා කළා. රෙදි හෝදගන්න එක. නාලා කරලා මගෙ පෞද්ගලික වැඩ ටික කරගන්න එක වුණත් මහ වදයක් වගේ මට දැනුණා. මොකද අම්මා තමයි මගෙ හැමදේම කළේ. ඒත් ටිකෙන් ටික මම ඒවට හුරු වුණා. මට තාමත් හිතාගන්න බෑ අම්මා හිටපු කාලෙ මට කරපු දේවල්වල හැටියට මාත් එක්ක හිටපු හැටියට එයා නැතුව මම ජීවත් වුණ හැටි.

ඉගෙනගන්න එක කොහොමද ඊට පස්සෙ කරගත්තෙ
අම්මා නැති වුණාට පස්සෙ මම තනියම ඉස්කෝලෙ ගියා. තාත්තා හැමදාම උදේට මේසෙ උඩින් තියන සල්ලි අරන් මම යනවා. කළුවර වැටෙනකොට තමයි ආපහු ආවෙ. ඒත් මම කිසිම නරක වැඩක් කළේ නෑ. මම ගියේ ගෑනු ළමයි විතරක් ඉන්න ඉස්කෝලෙකට.

ඒත් ටියුෂන් පන්තියෙදි, පුස්තකාලෙදි ඕන තරම් කොල්ලො මගෙ පස්සෙ ආවා. හුඟක් අය බය වුණා මගේ සමාජ තත්ත්වය ගොඩක් ඉහළයි කියලා එයාලා හිතපු හින්දා. කොහොම වුණත් මට කා ගැනවත් ආදරයක් නම් ඇතිවුණේ නෑ. තාත්තා ඉඳලත් අපේ අම්මා ගෙදර වියදමුත් මගෙ වියදමුත් කරගෙන මගේ වැඩත් කරගෙන හිටපු හැටි දැකලම මට පිරිමියකුගෙන් ඇති වැඩක් නෑ කියලා හිතුණා.

ඉතින් ඔයා හොඳට විභාගෙ කරගත්තද?
නෑ... මට හොඳටම පාස් වෙන්න බැරි වුණා. ඇත්තම කියනවනම් මම ඉගෙන ගන්න දක්ෂ නෑ. මහන්සි වෙලා තමයි කරගත්තෙ. උසස් පෙළ කරනකොට අම්මා නැති වුණායින් මං හොඳටම අමාරුවේ වැටුණා. ගෙදර ඉඳිල්ලත් එපා වුණා. මගෙ වැඩ කරගන්නත් කාලයක් ගියා. ඉතින් ඉගෙනුමට වැය කළේ පොඩි වෙලාවක්. යන්තම් පාස් වුණත් කැම්පස් යන්න නම් හිතන්නවත් බැරි වුණා.

තාත්තා මොකද ඒ ගැන කිවුවෙ?
එයාට නම් ඉතින් මොනවා වුණත් එකයිනෙ. විභාගෙන් පස්සෙ මම කොළඹ ප්‍රසිද්ධ රෙදි සාප්පුවක ඔෆීස් එකේ වැඩට ගියා. ඒකත් හම්බ වුණේ රෙදි ගන්නම ගිහින් යාළු වුණ අපේ අම්මත් එක්ක හොඳට හිතවත් වෙලා හිටපු ඒකෙ මැනේජර් කෙනෙක් නිසා. අහම්ඛෙන් පාරෙදි හම්බවෙලා විස්තර අහනකොට මම කිව්වා අම්මත් හදිසියේ කැන්සර් එකකින් නැතිවුණා. හයර් ස්ටඩීවලටත් ආසාවක් නෑ. තනියම ගෙදර ඉන්න පිස්සු වගේ නිසා දවස ගෙවා ගන්න ජොබ් එකක් හොයා ගන්න පුළුවන්ද කියලා. එදා එයා මගෙ ෆෝන් නම්බර් එක ගෙනිහින් සතියකට විතර පස්සෙ කතා කළා. ලොකු පඩියක් නම් දැන්ම දෙන්න බෑ. 25ක් විතර ගෙවන්නම්.

කැමති නම් එන්න කියලා. මට හිතාගන්න බැරිවුණා. දවසක්ම රුපියල් සීයකින් ජීවත් වෙන කෙල්ලෙකුට මාසෙකට 25,000ක්. පිස්සු හැදෙයි. එකපාරටම පැනලා ගන්න එකත් හරි නෑනෙ. මට හෙට විතර කෝල් එකක් දෙන්නද කියලා අහපුවාම මිනිහා ඕ.කේ. වුණා. කොහොම හරි මම ජොබ් එකට ගියා. පළමුවැනි පඩිය ගත්ත ගමන් බෝඩිමක් හොයාගෙන වත්තෙන් අයින් වුණා. මම බෝඩිමකට යනවා කියලා බඩු මුට්ටුත් අරන් එළියට බහින වෙලාවේ තාත්තා නෙවෙයි ඔළුව උස්සලාවත් බැලුවෙ.

තාමත් එහෙ වැඩද?
මොන පිස්සුද. ඒ කොයි කාලෙද? මාස පහ හයක් ඔහොම ගියා. ඕඩර් වගයක් බලන්න ආපු ගමන් ෆැක්ටි්‍රකාරයෙක් මාව දැකලා එයාලගෙ අලුතින් මහන ඇඳුම් මට එන්න පුළුවන්ද කියලා ඇහුවා. ඒ පාර නම් දෙසැරයක් නොහිතා මං බෑ කිව්වා. මොකද ඒ වෙනකොට 25,000න් ජීවත් වීමේ අමාරුව මට හොඳටම දැනෙමින් තිබුණෙ. එයාලා මට 60ක් දෙන්න පොරොන්දු වුණා. දැන් අවුරුදු දෙකක් තිස්සේ මම කරන්නෙ ඒ ජොබ් එක. ඒගොල්ලො මට හොඳට ගෙවනවා. ඒ අතරෙ මම ප්‍රයිවට් ඉගෙන ගන්නවා.

මොනවද ඉගෙන ගන්නෙ?
නීතිය. ඒකට ගොඩක් සල්ලි යනවා. ඒකට කමක් නෑ. මම හැමදාම එක එක්කෙනාගෙ ඇඳුම්වල හැඩ පෙන්න පෙන්න ඉන්න කැමති නෑ. මගෙම දෙයක් කරගෙන තනියම ඉන්න පුළුවන් නම් ඒ ඇති.
තරහ වෙන්න එපා නංගි ඇහුවට. ඔයාට කාගෙන්වත් කරදර නැද්ද ඔහොම තනියම ජීවත් වෙනකොට
නැත්තෙ නෑ. මේක ලංකාවනේ. ඒත් මම ආපු විදිය හොඳයි. කවුරුත් හිතන් ඉන්නෙ කොයි වෙලාවක හරි මට වරද්දවන්න.

දවසක මට නීතිය ඉගෙනගෙන ලෝයර් කෙනෙක් වුණොත් මූණ දෙන්න වෙන ජීවිතේ ගැන තමයි මම අද හිතන්නේ. ඒ වෙද්දි සමාජය අපට ඕනෑ විදියට වෙනස් වෙන්නෙ නෑනේ. ඒත් මම ඒකට බය නෑ. ඒ විදිය කවුරුහරි වෙනස් කරන්න ඕනෑ. ඒක වෙනස් කරන්නේ මම කියල නෙවෙයි කියන්නේ. ඒත් ඒක වෙනුවෙන් මම මහන්සි වෙනවා. එහෙම දවසකදි මාව හම්බ වෙන්න බලන්න

කතාව ප්‍රභාත් අත්තනායක
Related Posts Plugin for WordPress, Blogger...